අන්තර් සමාජ කාන්තා පළමු පෙළ එක්දින ක්‍රිකට් තරගාවලියේ ශූරතාවය නාවික හමුදාවට

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් සංවිධානය කරන ලද අන්තර් සමාජ කාන්තා පන්දු වාර 50 පළමු පෙළ එක්දින ක්‍රිකට් තරගාවලියේ අවසන් තරගය 2022 අප්‍රේල් 19 වන දින වැලිසර නාවික හමුදා ක්‍රිකට් ක්‍රීඩාංගනයේදී පැවති අතර, එහිදී ශ්‍රී ලංකා යුද්ධ හමුදා කාන්තා ‘බී’ කණ්ඩායම පරදා ප්‍රසාද ලකුණු සටහනෙහි පෙරමුණ ගනිමින් මෙවර ශූරතාවය දිනා ගැනීමට ශ්‍රී ලංකා නාවික හමුදා කාන්තා ක්‍රිකට් කණ්ඩායම සමත් විය.

ලීග් ක්‍රමය යටතේ පැවති මෙම තරගාවලිය සඳහා දිවයිනේ ක්‍රීඩා සමාජ නියෝජනය කරමින් කාන්තා කණ්ඩායම් 08 ක් සහභාගී විය. එහිදී ශ්‍රී ලංකා නාවික හමුදා කාන්තා ක්‍රිකට් කණ්ඩායම තරග 07 කට මුහුණ දී ඉන් තරග 06ක් ජයග්‍රහණය කර ප්‍රසාද ලකුණු 30 ක් හිමි කර ගනිමින් මෙවර ශූරතාවය හිමිකර ගැනීමට සමත්විය. එමෙන්ම පසුගිය වසරේදී ද අන්තර් සමාජ කාන්තා පන්දු වාර 50 කාන්තා ක්‍රිකට් තරගාවලියේ ශූරතාවය දිනාගැනීමට නාවික හමුදා කාන්තා ක්‍රිකට් කණ්ඩායම සමත් වූ අතර, මෙම ශූරතාවය පිට පිට දෙවතාවක් නාවික හමුදාව හිමිකර ගැනීම තුළින් නාවික හමුදා කාන්තා ක්‍රිකට් කණ්ඩායම නාවික හමුදාවට සුවිශාල කීර්තියක් ගෙනදීමට සමත් විය.

වර්ෂාව හේතුවෙන් අවසන් තරගය පන්දුවාර 22කට සීමා කර තිබූ අතර, ප්‍රථමයෙන් පන්දුවට පහරදුන් යුද්ධ හමුදා ‘බී’ කණ්ඩායම පන්දු වාර 22ක් අවසානයේ කඩුලු 09 ක් දැවී ලකුණු 39 ක් ලබා ගන්නා ලදී. පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ නාවික හමුචදා කාන්තා කණ්ඩායමට ඩක්වර්ත් ලුවිස් න්‍යාය අනුව ලබා ගැනීමට නියමිතව තිබූ ලකුණු 41ක ඉලක්කය පන්දු වාර 10 කදී කිසිදු කඩුල්ලක් නොදැවී පසුකර යමින් ජයග්‍රහණය තමන් සතු කර ගැනීමට සමත් විය.

මෙහිදී, අවසන් තරඟයේ ලකුණු 04 කට ප්‍රතිවාදී කඩුලු 03 ක් ද සමඟින්, සමස්ථ තරඟාවලියේ කඩුළු 19 ක් ලබා ගත් නාවික හමුදා කණ්ඩායමේ ඉනෝකා රණවීර ක්‍රීඩිකාව කරඟාවලියේ දක්‍ෂතම පන්දු යවන්නිය බවට පත් විය.

තවද, ශ්‍රී ලංකා නාවික හමුදා ක්‍රීඩා මණ්ඩලයේ සභාපති වශයෙන් කටයුතු කරනු ලබන නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් නිශාන්ත උළුගේතැන්නගේ උපදෙස් හා මඟ පෙන්වීම යටතේ, ශ්‍රී ලංකා නාවික හමුදා ක්‍රීඩා ක්ශේත්‍රයේ යටිතල පහසුකම් වැඩිදියුණු කිරීම සහ ක්‍රීඩා සංචිත සඳහා විශේඥ පුහුණු වැඩසටහන් ලබා දීම, නාවික හමුදා ක්‍රීඩක ක්‍රීඩිකාවන් හට ජයග්‍රහණ රැසක් හිමි කර ගැනීමට සුවිශේෂී දායකත්වයක් ගෙන දී ඇත.