ශ්‍රී ලංකා ආධුනික බොක්සිං තරගාවලියේ ජයග්‍රහණ රැසක් නාවික හමුදාවට

ශ්‍රී ලංකා බොක්සිං සංගමය විසින් සංවිධානය කරන ලද ආධුනික බොක්සිං තරගාවලිය - 2022 හීදි රන් පදක්කම් 04 ක් හා රීද පදක්කම් 04ක් ඇතුළු ජයග්‍රහණ රැසක් දිනා ගැනිමට ශ්‍රී ලංකා නාවික හමුදා බොක්සිං කණ්ඩායම සමත් විය.

2022 ජුනි මස 20 සිට 24 දක්වා කොළඹ රාජකීය විද්‍යාලීය ගෘහස්ථ ක්‍රීඩාංගණයේ බොක්සිං වළල්ලේදී පැවැති මෙම තරගාවලිය සඳහා ශ්‍රීලංකා නාවික හමුදාව නියෝජනය කරමින් ක්‍රීඩකයන් 15 දෙ‍නෙකු සහභාගීවිය.

එහිදී, කිලෝ ග්‍රෑම් 57, 60, 71 සහ 80 ට අඩු යන බර පංති නියෝජනය කරමින් පිළිවෙලින් තරගාවලියට සහභාගී වූ බලනැවි ඊඩබ්ඒ සඳරුවන්, නායක සංඥා එම්ජීපීකේපී දයාරත්න, බලනැවි එස්එච්ටීයූ කුමාර සහ නායක නැවි පීඑස්පී දේශප්‍රිය යන නාවිකයින් රන් පදක්කම් දිනාගැනීමට සමත් වූ අතර, කිලෝ ග්‍රෑම් 48, 75 සහ 86 ට අඩු යන බර පංති නියෝජනය කරමින් පිළිවෙලින් තරග කළ බල පාබල බීඕඕකේඅයිසී ප්‍රභාත්, නායක නැවි ඩබ්ඩීකේ ජයසිංහ සහ ආධුනික නැවි ඒඩබ්ඒ මධුශාන් යන නාවිකයින් රීදී පදක්කම් දිනා ගැනීමට සමත් විය.

තවද, කිලෝ ග්‍රෑම් 63.5 ට අඩු බර පංතියෙහි රිදී පදක්කම හා තරගාවලියේ දක්‍ෂතම පරාජිතයාට හිමි කුසලානය නාවික හමුදා බොක්සිං කණ්ඩායමේ බල නැවි එස්එම්සීඑස් සමරකෝන් විසින් හිමිකර ගත් අතර, ආධුනික බොක්සිං තරගාවලිය - 2022 පුරා කැපීපෙනෙන දක්‍ෂතා පෙන්වමින් එම තරගාවලියේ වැඩි ගෞරවය දිනාගැනීමටද ශ්‍රී ලංකා නාවික හමුදා බොක්සිං කණ්ඩායම සමත්විය.