ශ්‍රී ලංකා නාවික හමුදාවේ දායකත්වයෙන් උතුරු ප්‍රදේශය තුල ජල ක්‍රීඩා ප්‍රචලිත කිරීමේ ව්‍යාපෘතියක්

උතුරු ප්‍රදේශය තුල ජල ක්‍රීඩා ප්‍රචලිත කිරීම, ජීවිතාරක්ෂක ක්‍රම පිලිබඳ දැනුවත් කිරීම සහ නාවික හමුදාව හා උතුරු ප්‍රදේශයේ ජනතාව අතර සුහදත්වය වර්ධනය කිරීමේ අරමුණින් ශ්‍රි ලංකා නාවික හමුදාවේ මූලිකත්වයෙන් සංවිධානය කරනු ලැබූ ඩ්‍රැගන් බෝට්ටු (Dragon Boats) තරඟාවලියක් 2022 ජුලි මස 04 වන දින යාපනය කරෛයිනගර් ආශ්‍රිත මුහුදේදී පැවැත්වීමට කටයුතු කෙරිණි.

ඒ අනුව, නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් නිශාන්ත උළුගේතැන්නගේ මඟපෙන්වීම හා නාවික හමුදා නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධානී හා උතුරු නාවික විධානයේ ආඥාපති රියර් අද්මිරාල් ප්‍රියන්ත පෙරේරාගේ අධීක්‍ෂණය යටතේ සංවිධානය කෙරුණු මෙම ඩ්‍රැගන් බෝට්ටු තරඟාවලිය, උතුරු පළාතේ පාසල් නියෝජනය වන පරිදි අන්තර් පාසල් තරඟාවලියක් සහ උතුරු නාවික විධානයට අයත් නෞකා හා ආයතන නි‍යෝජනය වන පරිදි අන්තර් නෞකා තරඟාවලියක් වශයෙන් පවත්වන ලදී.

එහිදී, උතුරු පළාතේ පාසල් 08 ක් නියෝජනය කල අන්තර් පාසල් තරඟාවලියේ ශූරතාවය යාපනය යාල්ටන් විද්‍යාලය දිනාගැනීමට සමත් වූ අතර, එහි අනුශූරතාවය යාපනය වියවිල් ශායිවා විද්‍යාලය විසින් දිනාගන්නා ලදි. එමෙන්ම, උතුරු නාවික විධානයේ නෞකා හා ආයතනයන්ගේ සහභාගීත්වයෙන් පැවති අන්තර් නෞකා තරඟාවලියේ ශූරතාවය දිනාගැනීමට උතුරු නාවික විධානයේ දියත් අංශය සමත් වූ අතර, එහි අනු ශූරතාවය ශ්‍රී ලංකා නාවික නෞකා කංචදේව ආයතනය විසින් දිනාගැනීමට සමත් විය.

තවද, මෙම තරඟාවලිය සඳහා ශ්‍රි ලංකා හබල් ඔරු සංගමය, ලංකා ජීවිතාරක්‍ෂක සංගමය සහ උතුරු පළාතේ ක්‍රීඩා සංගම් ඇතුළු සිවිල් සංවිධානයන්ගේ දායකත්වය හිමි වූ අතර, තරඟාවලිය නැරඹීම සඳහා උතුරු පළාත් අධ්‍යාපන අමාත්‍යංශයේ නිලධාරීන් ප්‍රදේශයේ පාසල් වල විදුහල්පතිවරුන්, ගුරුවරුන් හා ප්‍රදේශයේ ජනතාව ඇතුළු පිරිසක් සහභාගී වී සිටියහ.