ජාත්‍යන්තර තලයේ ක්‍රීඩා ජයග්‍රහණ මව්බිමට ගෙනදුන් නාවික හමුදා ක්‍රීඩක ක්‍රීඩිකාවන් නාවික හමුදාධිපති ගේ ඇගයීමට

ජාත්‍යන්තර තලයේ ක්‍රීඩා ජයග්‍රහණ මව්බිමට හිමි කරදුන් නාවික හමුදා ක්‍රීඩක ක්‍රීඩිකාවන් 2024 ජනවාරි මස 16 වන දින නාවික හමුදා මූලස්ථානයේදී, නාවික හමුදා ක්‍රීඩා මණ්ඩලයේ සභාපති වශයෙන් කටයුතු කරනු ලබන නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් ප්‍රියන්ත පෙරේරා හමුවූ අතර, මව්බිමට අභිමානයක් ගෙනදෙමින් නාවික හමුදා ක්‍රීඩක ක්‍රීඩිකාවන් ලද සුවිශේෂී ජාත්‍යන්තර ක්‍රීඩා ජයග්‍රහණ අගයමින්, එහිදී නාවික හමුදාධිපති විසින් ඔවුන් වෙත වටිනා මුදල් ත්‍යාග පිරිනැමීම සිදු කෙරිණි.

ඒ අනුව, 2023 වර්ෂයේ ඉන්දියාවේ පැවති පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළේලේදී බර ඉසිලීමෙන් රිදී පදක්කම් දිනා ගත් නායක නැවි ඊඒඩීකේඩී එගොඩවත්ත හා සාමාන්‍ය කාන්තා නැවි බීසී ප්‍රියන්ති සහ එම තරඟාවලියේදී ලෝකඩ පදක්කමක් දිනා ගත් නායක නැවි ඩීඑම්අයිසී දිසානායක හටත්, 2023 වර්ෂයේ චිනයේ පැවති 19 වන ආසියානු ක්‍රීඩා ක්‍රිකට් තරඟාවලියේදී රිදී පදක්කම් දිනා ගත් නායක කාන්තා නැවි අයි රණවීර, නායක කාන්තා නැවි කේඩීයූ ප්‍රබෝදනී, සාමාන්‍ය කාන්තා නැවි ජීඒඩබ්එච්එම් පෙරේරා සහ සාමාන්‍ය කාන්තා නැවි එච්එම්ඩී සමරවික්‍රම හටත් නාවික හමුදාධිපති විසින් වටිනා මුදල් ත්‍යාග ලබා දීම සිදු කෙරිණි.

එමෙන්ම, 2023 වර්ෂයේ තායිලන්තයේ දී පැවති 25 වන ආසියානු මලල ක්‍රීඩා තරඟාවලියේදී, මීටර් 800 සහ මීටර් 1500 දුර දිවිමේ තරඟයන්හී ලෝකඩ පදක්කම් දිනා ගත් කාන්තා සුළු නිලධාරි ජීටීඒ අබේරත්න සහ එම තරඟාවලියේ මෙන්ම චීනයේදී පැවති 19 වන ආසියානු මලල ක්‍රීඩා තරඟාවලියේ දී මීටර් 4x400 සහය දිවීමේ තරඟයේ රිදී සහ ලෝකඩ පදක්කම් දිනා ගත් සාමාන්‍ය කාන්තා නැවි බීඑස්එල් මෙන්ඩිස් හටත් නාවික හමුදාධිපති විසින් වටිනා මුදල් ත්‍යාග ලබා දීම සිදු කෙරිණි.

ජාත්‍යන්තර ක්‍රීඩා ජයග්‍රහණ මව්බිමට දිනා දීමට සිදුකළ සුවිශේෂී දායකත්වය වෙනුවෙන් ඔවුන් වෙත සුභපැතු නාවික හමුදාධිපති, නාවික හමුදාවේ කීර්තිනාමය ඉහළ නංවමින් මව්බිමට මහත් අභිමානයක් ගෙන දීමට සිදුකළ එම සුවිශේෂී දායකත්වය අගයමින් ඔවුන් තවදුරටත් දිරිගැන්වීම උදෙසා මෙලෙස වටිනා මුදල් ත්‍යාග පිරිනැමීම සිදු කෙරිණි.