‘ජාතික බොක්සිං ශූරතාවලිය - 2023’ හිදී නාවික හමුදා ක්‍රීඩක ක්‍රීඩිකාවන් ජයග්‍රහණ රැසක් දිනා ගනියි

96 වන ‘ජාතික බොක්සිං ශූරතාවලිය - 2023’(96th BASL Men & Women National Boxing Championship 2023), 2024 ජනවාරි මස 17 වන දින කොළඹ, රාජකීය විද්‍යාලයේ රෝයල් මාස් එරීනා බොක්සින් වළල්ලෙහිදී පැවැති අතර,එහිදී නාවික හමුදා පිරිමි සහ කාන්තා බොක්සිං කණ්ඩායම් ජයග්‍රහණ රැසක් දිනා ගැනීමට සමත් විය.

මෙම ශූරතාවලිය සඳහා දිවයිනේ ප්‍රකට බොක්සිං ක්‍රීඩා සමාජ නියෝජනය කරමින් ක්‍රීඩක ක්‍රීඩිකාවන් රැසක් සහභාගී වූ අතර, ශ්‍රී ලංකා නාවික හමුදාව නියෝජනය කරමින් ක්‍රීඩක/ ක්‍රීඩිකාවන් තිස් හය (36) දෙනෙකු සහභාගි විය.

ඒ අනුව, නාවික හමුදා පිරිමි බොක්සිං ක්‍රීඩකයින් අතරින්, කිලෝ ග්‍රෑම් 92 ට අඩු බර පන්තිය නියෝජනය කල නායක නැවි කේඑම්සීකේ කරුණානායක එහි රන් පදක්කමත්, කිලෝ ග්‍රෑම් 75 ට අඩු බර පන්තිය නියෝජනය කල නායක ශාරිරික අභ්‍යාසක ඩබ්එම්ජීකේජීඅයි ආරියරත්න එහි රිදී පදක්කමත්, බලනැවි ආර්ජීයූඑස් රූපස්සර එම බර පන්තියෙන් ලෝකඩ පදක්කම් දෙකක් (02), කිලෝ ග්‍රෑම් 63.5 ට අඩු බර පන්තිය නියෝජනය කල නායක නැවි එන්එච් තිලකරත්න එහි රිදී පදක්කමත්, කිලෝ ග්‍රෑම් 67 ට අඩු බර පන්තිය නියෝජනය කල නායක නැවි ඒඑම්ටීඑස් අධිකාරි එහි රිදී පදක්කමත්, කිලෝ ග්‍රෑම් 54 ට අඩු බර පන්තිය නියෝජනය කල භෝජනවේදී ඒඑස් ප්‍රියංකර එහි ලෝකඩ පදක්කමත්, කිලෝ ග්‍රෑම් 51 ට අඩු බර පන්තිය නියෝජනය කල බල නාවික පාබල එස්අයි රන්මල් සහ බල නැවි ඒඑම්ජීඅයි බණ්ඩාර එහි ලෝකඩ පදක්කම්ද, කිලෝ ග්‍රෑම් 48 ට අඩු බර පන්තිය නියෝජනය කල නායක ඉංජිනේරු කාර්මික ජීකේජීඩබ්යූ කුමාර එහි ලෝකඩ පදක්කම සහ කිලෝ ග්‍රෑම් 92 ට වැඩි බර පන්තිය නියෝජනය කල බලනැවි ඊඑච්ඩීසී ද සිල්වා එහි ලෝකඩ පදක්කමත් දිනා ගැනීමට සමත් විය.

එමෙන්ම, නාවික හමුදා කාන්තා බොක්සිං ක්‍රීඩිකාවන් අතරින් කිලෝ ග්‍රෑම් 48 ට අඩු බර පන්තිය නියෝජනය කල කාන්තා ගබඩා සහකාර කේඑම්එම්ජේ කෝනාර එහි ලෝකඩ පදක්කමත්, කිලෝ ග්‍රෑම් 54 ට අඩු බර පන්තිය නියෝජනය කල බල කාන්තා නැවි ආර්එම්වයිඩීබී මැණිකේ එහි ලෝකඩ පදක්කමත් සහ කිලෝ ග්‍රෑම් 52 ට අඩු බර පන්තිය නියෝජනය කල කාන්තා ලිපිකරු ආර්එම්එස්එස් රත්තායක එහි ලෝකඩ පදක්කමත් දිනා ගැනීමට සමත් විය.

තවද, මෙම අවස්ථාව සඳහා ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් ජෙනරාල් කමල් ගුණරත්න (විශ්‍රාමික), ශ්‍රී ලංකා බොක්සින් සංගමයේ සභාපති ඩයන් ගෝමස් මහතා සහ බොක්සිං සමාජ නියෝජනය කරමින් ක්‍රීඩක ක්‍රීඩිකාවන් පිරිසක් සහභාගී වී සිටියහ.