මීගොඩ එක්සත් නිදහස් රේසිං පාපැදි තරඟාවලිය - 2024 හි ප්‍රථම ස්ථානය නාවික හමුදා ක්‍රීඩකයෙකු දිනාගනියි

ශ්‍රී ලංකා පාපැදි සම්මේලනයේ මෙහෙයවීම යටතේ, 2024 පෙබරවාරි මස 03 සහ 04 යන දිනයන්හීදී පැවති මීගොඩ එක්සත් නිදහස් රේසිං පාපැදි තරඟාවලිය - 2024 හි ප්‍රථම ස්ථානය නාවික හමුදා ක්‍රීඩක බල නැවි කේවීඑස් කුමාර විසින් දිනා ගැනීමට සමත් විය.

දිවයිනේ ප්‍රකට පාපැදි සංචිත නියෝජනය කරමින් ක්‍රීඩකයින් 124 ක් සහභාගී වූ මෙම පා පැදි තරඟයේ සමස්ථ දුර කිලෝමීටර් 314 යි මීටර් 800 ක් වූ අතර එය අධියර දෙකක් (02) ය‍ටතේ පැවැත්විණි. ඒ අනුව, මෙම තරඟයේ පළමු අධියර දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානය අසලින් ආරම්භ වී කුරුණෑගල, නාරම්මල, මීරිගම, ඌරපොල, අවිස්සාවේල්ල සහ මීගොඩ ආර්ථික මධ්‍යස්ථානය අසලින් අවසන් වූ අතර, පැය 04:26:51 ක කාලයකදී තරඟය නිම කල නාවික හමුදා ක්‍රීඩක බල නැවි කේවීඑස් කුමාර පළමු අධියරේ වේගවත්ම ක්‍රීඩකයා බවට පත්විය.

මෙම තරඟයේ දෙවන අධියර මීගොඩ ආර්ථික මධ්‍යස්ථානය අසලින් ආරම්භ වී කිලෝමීටර් 146 ක දුරකින් සමන්විත වූ අතර, පැය 03:41:47 ක කාලයකින් එම අධියර සාර්ථකව නිම කරමින් සමස්ථ තරඟයේ කණ්ඩායම් ශූරතාවය සහ තරඟාවලියේ සමස්ථ ශූරතාවය දිනාගැනීමට මෙලෙස නාවික හමුදා ක්‍රීඩක බල නැවි කේවීසී කුමාර සමත් විය.

තවද, මෙම පාපැදි තරගාවලියේදී නායක නැවි ඩීඒඑස් ප්‍රසංග, සාමාන්‍ය නැවි පීඩීඑස්පී චන්දික, නායක නැවි ජීඑන්එස් සිල්වා සහ සාමාන්‍ය නැවි අයිකේආර් ප්‍රනාන්දු යන නාවික හමුදා ක්‍රීඩකයින් පිළිවෙලින් 11,14,16 සහ 17 යන ස්ථාන දිනාගැනීමට සමත් විය.