2023/24 නිපෝන් අන්තර් සමාජ කාන්තා දස සමාජික රග්බි තරඟාවලියේ සමස්ථ ශූරතාවය නාවික හමුදා කාන්තා රග්බි කණ්ඩායම විසින් දිනා ගනියි

2023 දෙසැම්බර් මස 08 වන දින සිට 2024 පෙබරවාරි මස 18 වන දින දක්වා පැවති ‘2023/24 නිපෝන් අන්තර් සමාජ කාන්තා දස සමාජික රග්බි තරඟාවලියේ අවසන් මහ තරඟයෙන් නාවික හමුදා කාන්තා රග්බි කණ්ඩායම සමස්ථ ශුරතාවය දිනා ගැනීමට සමත් විය.

ඒ අනුව, 2024 පෙබරවාරි මස 18 වන දින සීආර් ඇන්ඩ් එෆ්සී ක්‍රිඩාංගණයේදි පැවති අවසන් මහ තරඟය සඳහා යුද හමුදා කාන්තා රග්බි කණ්ඩායම සහ නාවික හමුදා කාන්තා රග්බි කණ්ඩායම තරඟ වැදුනු අතර, එහිදී නාවික හමුදා ක්‍රීඩිකා සාමාන්‍ය කාන්තා නැවි කේපීඩීපී සත්සරණි උත්සාහක දිනුමක්ද (01), නායක කාන්තා නැවි ඒඑච්එස් මදුමාලි ප්‍රවර්ථන ලකුණක්ද (01) ලබාගනිමින් සමස්ථ ලකුණු සටහනේ පෙරමුණ ගෙන සිටි නාවික හමුදා කාන්තා රග්බි කණ්ඩායම තරඟාවලියේ සමස්ථ ශුරතාවය දිනා ගැනීමට සමත් විය.

එමෙන්ම, සමස්ථ තරඟාවලියේ නැගී එන ක්‍රීඩිකාව ලෙස නාවික හමුදා ක්‍රීඩිකා සාමාන්‍ය කාන්තා නැවි කේපීඩීපී සත්සරණි විසින් සම්මාන හිමි කර ගත් අතර, මෙම අවස්ථාව සදහා නාවික හමුදා රග්බි සංචිතයේ සභාපති කොමදෝරු සනත් පිටිගල ඇතුළු නිලධාරීන් සහ නාවිකයින් පිරිසක් සහභාගි වී සිටියහ.