2024 අන්තර් විධාන වොලිබෝල් තරඟාවලියේ පිරිමි ශූරතාවය නැගෙනහිර නාවික විධානය සහ කාන්තා ශූරතාවය බටහිර නාවික විධානය විසින් දිනා ගනියි

2024 අන්තර් විධාන වොලිබෝල් තරඟාවලිය, 2024 පෙබරවාරි මස 18 වන දින සිට 22 වන දින දක්වා ශ්‍රී ලංකා නාවික නෞකා තිස්ස ආයතනයේ පැවති අතර, තරඟාවලියේ පිරිමි ශූරතාවය නැගෙනහිර නාවික විධානය විසින් සහ එහි කාන්තා ශූරතාවය බටහිර නාවික විධානය විසින් දිනා ගැනීමට සමත් විය.

මෙම තරඟාවලිය සඳහා සියළුම නාවික විධානයන් නියෝජනය කරමින් ක්‍රීඩක ක්‍රීඩිකාවන් රැසක් සහභාගී වූ අතර, නැගෙනහිර නාවික විධානයේ ආඥාපති රියර් අද්මිරාල් සුරේෂ් ද සිල්වා ගේ ප්‍රධානත්වයෙන් පැවති අවසන් මහා තරඟයේදී වයඹ නාවික විධානය තරඟ වට 3 - 1 ක් ලෙස පරාජය කරමින්, නැගෙනහිර නාවික විධානය තරඟාවලියේ පිරිමි ශූරතාවය හිමි කර ගැනීමට සමත් විය. එහිදී, ලුතිනන් ඩීඊඑස් ජයකොඩි දක්ෂතම ක්‍රීඩකයාට හිමි කුසලානය දිනාගැනීමට සමත් විය.

එමෙන්ම, කාන්තා අවසන් මහ තරඟයේදී බටහිර නාවික විධාන කණ්ඩායම විසින් නැගෙනහිර නාවික විධාන කණ්ඩායම තරඟ වට 3 - 0 ක් ලෙස පරාජය කරමින්, එහි ශූරතාවය හිමි කර ගැනීමට සමත් විය. එහිදී, බලකාන්තා නැවි (ශාරිරික අභ්‍යාසක) ඩබ්ජීඑල්සී සේපාලිකා දක්ෂතම ක්‍රීඩිකාවට හිමි කුසලානය දිනාගැනීමට සමත් විය.

තවද, මෙම අවස්ථාව සඳහා නැගෙනහිර නාවික විධානයේ නියෝජ්‍ය ආඥාපති හා නාවික හා සාගරික විද්‍යාපීඨයේ ආඥාපති කොමදෝරු බුද්ධික ලියනගමගේ ඇතුළු නැගෙනහිර නාවික විධානයේ ජ්‍යේෂ්ඨ සහ කණිෂ්ඨ නිලධාරීන් හා නාවිකයන් පිරිසක් සහභාගී වී සිටියහ.