අන්තර් විධාන සය සාමාජික සැහැල්ලු පන්දු කාන්තා ක්‍රිකට් තරඟාවලියේ ශූරතාවය දකුණු නාවික විධානය විසින් දිනාගනියි

අන්තර් විධාන සය සාමාජික සැහැල්ලු පන්දු කාන්තා ක්‍රිකට් තරඟාවලිය, 2024 මාර්තු මස 10 සහ 11 යන දිනයන්හීදී නාවික හමුදා ක්‍රිකට් කමිටුවේ සභාපති රියර් අද්මිරාල් ඩේමියන් ප්‍රනාන්දු ගේ ප්‍රධානත්වයෙන් නාවික හමුදා ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවති අතර, තරඟාවලියේ ශූරතාවය දකුණු නාවික විධානය විසින් දිනාගැනීමට සමත් විය.

ඒ අනුව, නාවික හමුදා විධානයන් නියෝජනය කරමින් ක්‍රීඩිකාවන් රැසක් සහභාගී වූ මෙම තරඟාවලියේ අවසන් මහා තරඟය, දකුණු නාවික විධානය හා බටහිර නාවික විධානය අතර පැවති අතර, එහිදී බටහිර නාවික විධාන කණ්ඩායම පන්දුවාර 05 කදී සියලු දෙනා දැවී ලකුණු 64 ක් පමණක් හිමිකර ගැනීමට සමත් විය. පිළිතුරු ඉනිම ක්‍රීඩාකල දකුණු නාවික විධාන කණ්ඩායම, පන්දුවාර 04 යි පන්දු 05 කදී කඩුළු 02 ක් පමණක් දැවී තරඟාවලියේ ශූරතාවය දිනා ගැනීමට සමත් විය.

එමෙන්ම, තරඟාවලියේ දක්‍ෂතම පිතිකරුට හිමි සම්මානය බටහිර නාවික විධානයේ නායක කාන්තා ශාරීරික අභ්‍යාසක එස්අයිඑච් ද සිල්වා විසින්ද, දක්‍ෂතම පන්දු යවන්නා ලෙස දකුණු නාවික විධානයේ ආධුනික කාන්තා නැවි කේජීකේවී රණවීර විසින්ද, අවසන් මහා තරඟයේ වීරයාට හිමි සම්මානය දකුණු නාවික විධානයේ ආධුනික කාන්තා නැවි ඩබ්ඒඑන්ඒ වීරප්පෙරුම විසින් සහ තරඟාවලියේ වීරයාට හිමි සම්මානය දකුණු නාවික විධානයේ ආධුනික කාන්තා නැවි කේජීකේවී රණවීර විසින් දිනා ගැනීමට සමත් විය.

තවද, මෙම අවස්ථාව සඳහා නාවික හමුදා අධ්‍යක්‍ෂ ක්‍රීඩා කොමදෝරු වරුණ ෆර්ඩිනෑන්ඩර්ස් සහ නාවික හමුදා විධානයන් නියෝජනය කරමින් නාවික හමුදා පුද්ගලයින් පිරිසක් සහභාගී වී සිටියහ.