නාවික හමුදා කැනෝයි හා කායක් සංචිතය තලෛයිමන්නාරම් මුහුදේ කායක් පුහුණු සැසියක් පවත්වයි

ශ්‍රී ලංකා ජාතික කැනෝයි හා කායක් සංගමය (National Association of Canoeing and Kayak Sri Lanka – NACKSL) විසින් ඉන්දියානු කැනෝයි හා කායක් සංගමය (Indian Kayaking and Canoeing Association – IKCA) හා එක්ව, 2024 අප්‍රේල් මස 10 සහ 11 යන දිනයන්හීදී තලෙයිමන්නාරමේ සිට ඉන්දියාවේ ධනුෂ්කොඩි දක්වා පැවැත්වීමට නියමිත මුහුදු කායකින් තරඟාවලියට (Indo Sri Lanka Annual Canoeing Sprint – 2024) සමගාමීව කායක් පුහුණු සැසියක් අද දින (2024 මාර්තු 23) තලෛයිමන්නාරමට ඔබ්බෙන් වූ මුහුදු තීරයේදී පැවැත්විණි.

ශ්‍රී ලංකා නාවික හමුදාවේ පූර්ණ සංවිධායක දායකත්වයෙන් ප්‍රථම වරට පැවැත්වීමට නියමිත මුහුදු කායකින් තරඟාවලිය පැවැත්වෙන තලෛයිමන්නාරමට ඔබ්බෙන් වූ වැලිපර හත (Sand dune VII) දක්වා මුහුදේ ස්වභාවය සහ සුළ‍ඟේ වේගය පරීක්‍ෂා කිරීමත්, එම තරඟාවලිය සඳහා සහභාගීවන නාවික හමුදා කායක් සංචිතයේ පැදිකරුවන් හට තරඟාවලිය පැවැත්වෙන මුහුදු ප්‍රදේශයේ පවත්නා පරිසර තත්වයන්ට හුරුකරවීමත් වෙනුවෙන් මෙම පුහුණු සැසිය සංවිධානය කෙරිණි.