අන්තර් විධාන ක්‍රිකට් තරඟාවලිය - 2024 ශූරතාවය බටහිර නාවික විධානය දිනාගනියි

ශ්‍රී ලංකා නාවික හමුදා අන්තර් විධාන ක්‍රිකට් තරඟාවලිය - 2024 හි අවසන් මහා තරඟය 2024 මාර්තු මස 28 වන දින වැලිසර නාවික හමුදා ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී නාවික හමුදා අධ්‍යක්‍ෂ ජෙනරාල් විදුලි හා විද්‍යුත් ඉංජිනේරු රියර් අද්මිරාල් විරාජ් ලීලාරත්න ගේ ප්‍රධානත්වයෙන් පැවති අතර, එහි ශූරතාවය බටහිර නාවික විධානය විසින් දිනාගැනීමට සමත් විය.

අන්තර් විධාන ක්‍රිකට් තරඟාවලිය - 2024 මූලික වටයේ තරග 2024 මාර්තු මස 13 වන දින සිට මාර්තු මස 15 වන දින දක්වා “ඒ”, “බී” සහ “සී” වශයෙන් කාණ්ඩ තුනක් යටතේ පූනෑව ශ්‍රී ලංකා නාවික නෞකා ශික්‍ෂා ආයතනයේ ක්‍රිකට් ක්‍රීඩාංගණය, බූස්ස ශ්‍රී ලංකා නාවික නෞකා නිපුණ ආයතනයේ ක්‍රිකට් ක්‍රීඩාංගණය සහ ත්‍රිකුණාමලය නාවික හා සාගරික විද්‍යාපිඨ ක්‍රිකට් ක්‍රීඩාංගණය යන ක්‍රීඩාංගණයන්හීදී පැවැත්විණි.

නැගෙනහිර, දියත් සහ පුහුණු යන විධාන කණ්ඩායම් “ඒ” කාණ්ඩය යටතේත්, උතුරු, වයඹ සහ උතුරු මැද යන විධාන කණ්ඩායම් “බී” කාණ්ඩය යටතේ සහ බටහිර, දකුණ සහ ගිණිකොන යන විධාන කණ්ඩායම් “සී” කාණ්ඩය යටතේ තරඟ වැදුණු අතර, එහිදී නැගෙනහිර, පුහුණු, බටහිර, දකුණු, උතුරු සහ උතුරු මැද යන විධාන කණ්ඩායම් දෙවන වටය සඳහා සුදුසුකම් ලබාගැනීමටත් දෙවන වටයෙන් අනතුරුව බටහිර, පුහුණු, උතුරු සහ උතුරු මැද කණ්ඩායම් අර්ධ අවසන් තරඟ සඳහා සුදුසුකම් ලබාගැනීමටත් සමත් විය.

අර්ධ අවසන් තරඟ 2024 මාර්තු මස 24 සහ 25 යන දිනයන්හීදී වැලිසර නාවික හමුදා ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවත්විණි. එහිදී, බටහිර නාවික විධාන කණ්ඩායම සහ උතුරු නාවික විධාන කණ්ඩායම අතර පැවති පළමු අර්ධ අවසන් තරඟයෙන් බටහිර නාවික විධාන කණ්ඩායම ජයගත් අතර, පුහුණු විධාන කණ්ඩායම සහ උතුරු මැද නාවික විධාන කණ්ඩායම අතර පැවති දෙවන අර්ධ අවසන් තරඟයෙන් පුහුණු විධානය ජයග්‍රහණය කරන ලදි.

2024 මාර්තු මස 28 වන දින බටහිර නාවික විධානය සහ පුහුණු විධාන කණ්ඩායම් අතර වැලිසර නාවික හමුදා ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී අවසන් මහා තරඟය පැවැත්විණි. එහිදී, බටහිර නාවික විධානයේ ක්‍රීඩකයින් පන්දු වාර 50 ක් අවසානයේදී, කඩුළු 09 ක් දැවී ලකුණු 267 ක් ලබා ගත් අතර, පිළිතුරු ඉනිම ක්‍රීඩා කල පුහුණු විධාන කණ්ඩායම පන්දුවාර 32 යි පන්දු 03 කදී සියලු දෙනා දැවී ලබා ගත හැකි වූයේ ලකුණු 99 ක් පමණි. ඒ අනුව, තරඟාවලියේ ශූරතාවය බටහිර නාවික විධානය විසින් දිනා ගැනීමට සමත් විය.

එමෙන්ම, තරඟාවලියේ දක්‍ෂතම ක්‍රීඩකයා, දක්‍ෂතම පන්දු යවන්නා සහ අවසන් මහා තරඟයේ වීරයා ලෙස බටහිර නාවික විධානයේ ලුතිනන් (නාපාබල) කේඑල්එල් ශාවින්ද විසින් කුසලාන හිමිකර ගන්නා ලදි. තරඟාවලියේ දක්‍ෂතම පිතිකරු ලෙස උතුරුමැද නාවික විධානයේ කොමාණ්ඩර් (සැ) ජීඑස් ලීලාරත්න විසින්ද, තරඟාවලියේ දක්‍ෂතම පන්දු රකින්නා ලෙස උතුරුමැද නාවික විධානයේ සාමාන්‍ය නැවි පිඑම්ඩි මහෙෂ් විසින්ද එහිදී කුසලාන සහ සහතිකපත් හිමි කර ගැනීමට සමත් විය.

තවද, මෙම අවස්ථාව සඳහා ශ්‍රී ලංකා නාවික හමුදා ක්‍රිකට් සභාපති රියර් අද්මිරාල් ඩේමියන් ප්‍රනාන්දු, නාවික හමුදා අධ්‍යක්‍ෂ ජෙනරාල් සේවා රියර් අද්මිරාල් ප්‍රියල් විතානගේ, ස්වේච්ඡා නාවික හමුදාවේ ආඥාපති රියර් අද්මිරාල් ලෂාන්ත් එන් හේවාවිතරණ ඇතුළු නාවික හමුදා මූලස්ථානයේ සහ බටහිර නාවික විධානයේ ජ්‍යේෂ්ඨ හා කණිෂ්ඨ නිලධාරීන් සහ නාවිකයන් පිරිසක් සහභාගී වී සිටියහ.