‘විජයබාහු මෝටර් ක්‍රොස් - 2024’ ධාවන තරඟාවලියේදී යතුරු පැදි අංශයේ ජයග්‍රහණ ලබා ගැනීමට නාවික හමුදාව සමත් වෙයි

ශ්‍රී ලංකා මෝටර් රථ සහ යතුරුපැදි ධාවකයින්ගේ සංගමය සහ ශ්‍රී ලංකා යුද හමුදා විජයබාහු රෙජිමේන්තුව මඟින් සංවිධානය කරන ලද ‘විජයබාහු මෝටර් ක්‍රොස් - 2024’ තරඟාවලිය, 2024 මාර්තු මස 31 වන දින කුරුණෑගල, බෝයගනේ යුද හමුදා ධාවන පථයේදී පැවති අතර, එහිදී යතුරු පැදි අංශයේ ජයග්‍රහණ හිමි කර ගැනීමට නාවික හමුදා ක්‍රීඩකයින් සමත් විය.

යතුරු පැදි ඉසව් දහ හතරක් (14) යටතේ පැවති මෙම තරඟාවලිය සඳහා නාවික හමුදාව නියෝජනය කරමින් ක්‍රීඩකයින් තිදෙනෙකු (03) සහභාගී විය. එහිදී, Standard 125cc තරඟයේ සිව්වන ස්ථානය නායක ප්‍රවාහන සහයක ඩීඑම්එස්එස් කුමාර විසින්ද, Racing 125cc Open තරඟයේ ප්‍රථම ස්ථානය නායක ශාරිරික අභ්‍යාසක ඊඒපීඑන් එදිරිසිංහ විසින්ද, එහි පස්වන ස්ථානය නායක ප්‍රවාහන සහයක ඩීඑම්එස්එස් කුමාර විසින්ද, Racing 125 cc Defense Service තරඟයේ තෙවන ස්ථානය නායක ශාරිරික අභ්‍යාසක ඊඒපීඑන් එදිරිසිංහ විසින් සහ එහි හත්වන ස්ථානය නායක ප්‍රවාහන සහයක ඩීඑම්එස්එස් කුමාර විසින් හිමි කර ගැනීමට සමත් විය.

එමෙන්ම, Standard 250 cc තරඟයේ තෙවන ස්ථානය නායක ශාරිරික අභ්‍යාසක ඊඒපීඑන් එදිරිසිංහ විසින්ද, Super Mortard Race-01 තරඟයේ සිව්වන ස්ථානය නායක ඉංජිනේරු කාර්මික එම්වීඩබ්පී කරුණාරත්න විසින් සහ Super Mortard Race- 02 තරඟයේ පස්වන ස්ථානය නායක ඉංජිනේරු කාර්මික එම්වීඩබ්පී කරුණාරත්න විසින් හිමි කර ගැනීමට සමත් විය.

තවද, මෙම අවස්ථාව සඳහා අති ධාවනකාරි යතුරුපැදි සංචිතයේ ලේකම් කොමාණ්ඩර් චාමර මීපාවල ඇතුළු අති ධාවනකාරි යතුරුපැදි ක්‍රීඩකයින් පිරිසක් සහභාගී වී සිටියහ.