විස්සයි විස්ස ආසියානු ක්‍රිකට් කවුන්සිල ප්‍රිමියර් ක්‍රිකට් තරඟාවලියේ පෙර පුහුණු තරඟයකින් මැලේසියා කණ්ඩායම පරදා නාවික හමුදා පිරිමි ක්‍රිකට් කණ්ඩායමට තියුණු ජයක්

2024 අප්‍රේල් මස 08 වන දින වැලිසර නාවික හමුදා ක්‍රිකට් ක්‍රීඩාංගණයේදි පැවැති විස්සයි විස්ස ආසියානු ක්‍රිකට් කවුන්සිල ප්‍රිමියර් ක්‍රිකට් තරඟාවලියේ, මැලේසියානු පිරිමි ක්‍රිකට් කණ්ඩායම සහ නාවික හමුදා පිරිමි ක්‍රිකට් කණ්ඩායම අතර පැවති පෙර පුහුණු තරඟයෙන් තියුණු ජයක් හිමි කර ගැනීමට නාවික හමුදා කණ්ඩායම සමත් විය.

2024 අප්‍රේල් මස 12 වන දින සිට 25 වන දින දක්වා ඕමාන්හිදි පැවැත්විමට නියමිත විස්සයි විස්ස ආසියානු ක්‍රිකට් කවුන්සිල ප්‍රිමියර් ක්‍රිකට් තරඟාවලිය (Asian Cricket Council Premier Cup T-20) සඳහා සහභාගී වන මැලේසියානු පිරිමි ක්‍රිකට් කණ්ඩායම පෙර පුහුණු තරඟ ක්‍රීඩා කිරිම වෙනුවෙන්, 2024 මාර්තු මස 31 වන දින දිවයිනට ළඟා විය.

ඒ අනුව, 2024 අප්‍රේල් මස 08 වන දින වැලිසර නාවික හමුදා ක්‍රිකට් ක්‍රීඩාංගණයේදි පැවැති පෙර පුහුණු තරඟයේ පළමුවෙන් පන්දුවට පහර දුන් නාවික හමුදා ක්‍රිකට් කණ්ඩායම පන්දුවාර 20 ක් අවසානයේ කඩුළු 05ක් පමණක් දැවී ලකුණු 126 ක් හිමි කර ගත් අතර, එහිදි සාමාන්‍ය නැවි ආර්ඒඩිඩබ්එම් සම්පත් පන්දු 51කට ලකුණු 53ක් සහ සාමාන්‍ය නැවි එම්විජේඩි ජයසිංහ පන්දු 49කට ලකුණු 46ක් ලබා ගැනීමට සමත් විය.

එමෙන්ම, පිළිතුරු ඉනිම ක්‍රීඩා කල මැලේසියානු ක්‍රිකට් කණ්ඩායම පන්දුවාර 19යි පන්දු 04කදී සියළු දෙනා දැවී ලකුණු 122ක් පමණක් හිමි කර ගත් අතර, නාවික හමුදා ක්‍රිකට් කණ්ඩායම ලකුණු 05 ක ජයක් හිමි කර ගැනීමට සමත් විය. පන්දු යැවිමේදි නාවික හමුදා ක්‍රිකට් කණ්ඩායම වෙනුවෙන් ආධුනික නැවි පිඩිආර්එම් මධුෂංක පන්දුවාර 02යි පන්දු 04ක් තුල ලකුණු 21කට කඩුළු 03ක් සහ ලුතිනන් (නාපාබල) කේඑල්එල් ශාවින්ද පන්දුවාර 04කදි ලකුණු 16කට කඩුළු 02ක් හිමි කර ගැනීමට සමත් විය.