ශ්‍රී ලංකාවේ තලෛයිමන්නාරමේ සිට ඉන්දියාවේ ධනුෂ්කෝඩි දක්වා ප්‍රථම වරට මුහුදු කායක් තරඟාවලියක්

ක්‍රීඩා අමාත්‍යංශය, ශ්‍රී ලංකා ජාතික කැනෝයි හා කායක් සංගමය (National Association of Canoeing and Kayak Sri Lanka – NACKSL) සහ ඉන්දියානු කැනෝයි හා කායක් සංගමය (Indian Kayaking and Canoeing Association – IKCA) එක්ව, ප්‍රථම වරට සංවිධානය කරනු ලබන ශ්‍රී ලංකාවේ තලෙයිමන්නාරමේ සිට ඉන්දියාවේ ධනුෂ්කොඩි දක්වා වූ මුහුදු කායක් තරඟාවලිය, ශ්‍රී ලංකා නාවික හමුදාවේ පූර්ණ දායකත්වයෙන් 2024 අප්‍රේල් මස 10 සහ 11 යන දිනයන්හීදී පැවැත්වීමට සියළු කටයුතු සූදානම් කර ඇත.

ඒ අනුව, මන්නාරම සහ තලෙයිමන්නාරම ප්‍රදේශයේ සංචාරක ප්‍රවර්ධනය වෙනුවෙන් විශාල දායකත්වයක් ගෙන දෙනු ලබන මෙම කැනෝයි හා කායක් තරඟාවලියේ සමාරම්භක උත්සවය 2024 අප්‍රේල් මස 10 වන දින සන්ධ්‍යාවේ තලෛයිමන්නාරම් වෙරළ තීරයේදී පැවැත්වීමෙන් අනතුරුව, ශ්‍රී ලංකාවේ තලෛයිමන්නාරමේ සිට ඉන්දියාවේ ධනුෂ්කෝඩි දක්වා පැවැත්වෙන මුහුදු කායක් තරඟාවලියේ ආරම්භය 2024 අප්‍රේල් මස 11 වන දින උදෑසන සිදුකිරීමට නියමිතව ඇත.

මෙම තරඟාවලිය සඳහා ශ්‍රී ලංකා ජාතික කැනෝයි හා කායක් සංගමය, Jade High School Kayaking Club, Bolgoda Lake Rowing Club, Adventure SEALs සහ Gateway College යන කායකින් ක්‍රීඩා සමාජ නියෝජනය කරමින් ක්‍රීඩක ක්‍රීඩිකාවන් තිස් එක් දෙනෙකු (31) ශ්‍රී ලංකාව නියෝජනය කරමින් සහභාගීවීමට නියමිතව ඇති අතර, ඉන්දියානු කැනෝයි හා කායක් සංගමය නියෝජනය කරමින් මෙම තරඟාවලිය සඳහා ක්‍රීඩකයින් පනහක (50) පමණ පිරිසක් සහභාගීවීමට නියමිතව ඇත.