ශ්‍රී ලංකාවේ තලෙයිමන්නාරමේ සිට ඉන්දියාවේ ධනුෂ්කෝඩි දෙසට ප්‍රථම වරට පැවැත්වූ මුහුදු කායක් තරඟාවලිය සාර්ථකව නිමාවට පත් වෙයි

ශ්‍රී ලංකා නාවික හමුදාව, ක්‍රීඩා අමාත්‍යංශය, ශ්‍රී ලංකා ජාතික කැනෝයි හා කායක් සංගමය සහ ඉන්දීය කැනෝයි හා කායක් සංගමය එක්ව, ප්‍රථම වරට සංවිධානය කල ශ්‍රී ලංකාවේ තලෙයිමන්නාරමේ සිට ඉන්දියාවේ ධනුෂ්කොඩි දෙසට වූ මුහුදු කායක් තරඟාවලිය (Adam's bridge paddle challenge) 2024 අප්‍රේල් මස 11 වන දින සාර්ථකව නිමාවට පත් විය.

මන්නාරම සහ යාපනය අර්ධද්වීපය ඇතුළු උතුරු ප්‍රදේශයේ නොගැඹුරු මුහුදු තීරය, ජල ක්‍රීඩා ප්‍රචලිත කිරීම සඳහා ඉතාමත් සුදුසු වටිනා ස්වභාවික පාරිසරික පද්ධතියකින් සමන්විත වේ. එවන් පසුබිමක නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් ප්‍රියන්ත පෙරේරාගේ සංකල්පයක් මත, උතුරු පළාතේ ජනතාවට ප්‍රතිලාභ රැසක් ගෙන දෙනුලබන ජල ක්‍රීඩා ආශ්‍රිත සංචාරක ප්‍රවර්ධනය, ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර පවත්නා දිගුකාලීන සුහදත්වය හා සංස්කෘතික සබඳතා තවදුරටත් වර්ධනය කිරීම වෙනුවෙන් විශාල දායකත්වයක් ගෙන දෙනු ලබන, මෙම ඉන්දු ශ්‍රී ලංකා කායක් තරඟාවලියේ සමාරම්භක උත්සවය, 2024 අප්‍රේල් මස 10 වන දින සන්ධ්‍යාවේ උතුරු පළාත් ප්‍රධාන ලේකම්, ලෙඩ්චුමනන් ඉලංගෝවන් මහතා සහ නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් ප්‍රියන්ත පෙරේරා ගේ ප්‍රධානත්වයෙන් තලෛයිමන්නාරම් වෙරළ තීරයේදී පැවැත්විණි.

අනතුරුව, 2024 අප්‍රේල් මස 11 වන දින උදෑසන තලෙයිමන්නාරමේ සිට ඉන්දියාවේ ධනුෂ්කොඩි දෙසට පැවැත්වූ මෙම Adam’s bridge paddle challenge තරඟාවලිය සඳහා; ශ්‍රී ලංකා ජාතික කැනෝයි හා කායක් සංගමය (National Canoe and Kayak Association of Sri Lanka), Jade High School Kayaking Club, Adventure SEALs, ශ්‍රී ලංකා යුද්ධ හමුදාව, ශ්‍රී ලංකා ගුවන් හමුදාව, ශ්‍රී ලංකා නාවික හමුදාව, Bolgoda Lake Rowing Club, Royal College Colombo 07, Gateway College සහ Lanka Adventure යන කායකින් ක්‍රීඩා සමාජ නියෝජනය කරමින් ක්‍රීඩක ක්‍රීඩිකාවන් තිස් එක් දෙනෙකු (31) සහභාගී වූ අතර, ඉන්දියානු කැනෝයි හා කායක් සංගමය නියෝජනය කරමින් ක්‍රීඩකයින් තිදෙනෙකු (03) සහභාගී වූහ. එමෙන්ම, ඒ සඳහා නාවික හමුදාධිපති කායක් පැදි යාත්‍රාවක් මඟින් සහභාගී වීම විශේෂතත්වයක් වූ අතර, දිවයින වටා කායක් පැදි යාත්‍රාවක් මඟින් යාත්‍රා කර වාර්තාවක් පිහිටුවා, ඒ පිලිබඳ විශේෂඥ අත්දැකීම් හා දැනුමක් සහිත නාවික හමුදාධිපති Adam’s bridge paddle challenge තරඟාවලිය සඳහා සහභාගීවීම, තරුණ ක්‍රීඩක ක්‍රීඩිකාවන් හට විශාල දිරිගැන්වීමක්‍ ද ගෙන දෙන්නට සමත් විය.

2024 අප්‍රේල් මස 11 වන දින, මෙම තරඟාවලිය සඳහා සහභාගී වූ සියළුම ක්‍රීඩක ක්‍රීඩිකාවන් හට ත්‍යාග, පදක්කම්, සහතික සහ කුසලාන ප්‍රධානය කිරීම; නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් ප්‍රියන්ත පෙරේරා, නාවික හමුදා මාණ්ඩලික ප්‍රධානී රියර් අද්මිරාල් ප්‍රදීප් රත්නායක, නාවික හමුදා අධ්‍යක්ෂ ජෙනරාල් සේවා රියර් අද්මිරාල් ප්‍රියාල් විතාන, උතුරු මැද නාවික විධානයේ ආඥාපති රියර් අද්මිරාල් නලීන් නවරත්න, දකුණු නාවික විධානයේ ආඥාපති හා ශ්‍රී ලංකා ජාතික කැනෝයි හා කායක් සංගමයේ සභාපති රියර් අද්මිරාල් චින්තක කුමාරසිංහ, උතුරු මැද නාවික විධානයේ නියෝජ්‍ය ආඥාපති කොමදෝරු මංගල මුම්මුල්ලගේ, ශ්‍රී ලංකා ජාතික කැනෝයි හා කායක් සංගමයේ ලේකම් කපිතාන් චමින්ද විජේසිරි ඇතුළු ජ්‍යේෂ්ඨ නිලධාරීන්ගේ සහාභාගීත්වයෙන් සහ ඉන්දීය කායක් සංගමයේ නියෝජිතයන් ගේ සහභාගීත්වයෙන් තලෙයිමන්නාරම් වෙරළ තීරයේදී සිදුකෙරිණි.

ඒ අනුව, K 1 සහ K 2 වශයෙන් පැවති මෙම තරඟාවලියේ K 1 අංශයේ පිරිමි ශූරතාවය (Best Paddler) ශ්‍රී ලංකා යුද්ධ හමුදා ක්‍රීඩක ලාන්ස් කෝප්‍රල් ආර්ආර් සේනාරත්න විසින්ද, K 1 අංශයේ පිරිමි දෙවන ස්ථානය නාවික හමුදාවේ ප්‍රධාන සුළු නිලධාරි ජේසී ජයසිංහ විසින්ද, K 1 අංශයේ පිරිමි තෙවන ස්ථානය නායක නැවිඑච්එම්ඒඩී ගුණතිලක විසින්ද, K 1 අංශයේ කාන්තා ශූරතාවය (Best Paddler) ශ්‍රී ලංකා ගුවන් හමුදා ක්‍රීඩිකා නායක ගුවන් කාන්තා‍ කේඩබ්එන් මධුෂානි විසින්ද, K 1 අංශයේ කාන්තා දෙවන ස්ථානය එම්ජේ ද සිල්වා ක්‍රීඩිකාව විසින්ද, K 1 අංශයේ තුන්වන ස්ථනය එස්එම් ද සිල්වා ක්‍රීඩිකාව විසින්ද, K 2 අංශයේ පිරිමි ශූරතාවය නාවික හමුදාවේ ප්‍රධාන සුළු නිලධාරි ජේසී ජයසිංහ විසින් සහ නායක ඉංජිනේරු කාර්මික ජේබී ඒකනායක විසින් දිනා ගැනීමට සමත් විය.

එහිදී අදහස් දැක්වූ නාවික හමුදාධිපති, මෙම තරඟාවලිය සඳහා ඉදිරියේදී විදෙස් ක්‍රීඩක ක්‍රීඩිකාවන් රැසක් සහභාගී වනු ඇති බවත්, එමඟින් උතුරු ප්‍රදේශයේ නොගැඹුරු මුහුදු කලාපයේ ජල ක්‍රීඩා ප්‍රචලිත වීමෙන් විශාල සංචාරක ප්‍රවර්ධනයක් ඇති වනු ඇති බවත් ප්‍රකාශ කරන ලදී. 2025 වර්ෂයේදී මෙම තරඟාවලිය ඉන්දියාවේ සිට තලෙයිමන්නාරමට පවත්වන බවත්, ආරම්භක ස්ථානය එලෙස වෙනස් කරමින් වාර්ෂිකව මෙම තරඟාවලිය පැවැත්වීමෙන් දෙරටේ සංචාරක ප්‍රවර්ධනයටත්, සංස්කෘතික හුවමාරුව තුලින් දෙරටේ ද්විපාර්ශ්වීය සම්බන්ධතා වඩාත් ශක්තිමත්ව වර්ධනය වීමටත් මහඟු පිටිවහලක් ගෙනදෙනු ඇති බවත් පවසන ලදී.

තවද, ප්‍රථම වරට පැවැත්වූ මෙම තරඟාවලිය නැරඹීම සඳහා ප්‍රදේශයේ පාසල් දූ දරුවන් පිරිසක්ද එක් විය. එමෙන්ම මෙම අවස්ථාව සඳහා ඉන්දීය කායක් සංගමය නියෝජනය කරමින් නියෝජිතයින්, ශ්‍රී ලංකා නාවික හමුදාවේ ජ්‍යේෂ්ඨ නිලධාරීන්, රාජ්‍ය නිලධාරීන්, දිවයිනේ ප්‍රකට කායක් ක්‍රීඩා සමාජ නියෝජනය කරමින් ක්‍රීඩක ක්‍රීඩිකාවන් හා නියෝජිතයින්, ත්‍රිවිධ හමුදා කායක් ක්‍රීඩක ක්‍රීඩිකාවන්, පාසල් කායක් ක්‍රීඩා සමාජ නියෝජනය කරමින් ක්‍රීඩක ක්‍රීඩිකාවන් ඇතුළු පිරිසක් සහභාගී වී සිටියහ.