26 වැනි ආසියානු මලල ක්‍රීඩා ශූරතාවලියේදී නාවික හමුදා ක්‍රීඩිකා ලක්‍ෂිමා මෙන්ඩිස් ඇතුළු 4x400 සහය දිවීමේ කණ්ඩායම් මව් බිමට ලෝකඩ පදක්කම් දිනා දෙයි

26 වැනි ආසියානු මලල ක්‍රීඩා ශූරතාවලිය, 2025 මැයි මස 27 සිට 31 දක්වා, කොරියානු ජනරජයේ ගුමි නගරයේදී (Gumi, Republic of Korea) සාර්ථකව පැවැත්විණි. එම ශූරතාවලියේ මිටර් 4x400 සහය දිවීමේ කාන්තා ධාවන ඉසව්ව සඳහා සහ මිටර් 4x400 සහය දිවීමේ මිශ්‍ර ධාවන ඉසව්ව සඳහා ශ්‍රී ලංකා කණ්ඩායම නියෝජනය කරමින් සහභාගී වූ නාවික හමුදා ක්‍රීඩිකා, සාමාන්‍ය කාන්තා නැවි ලක්‍ෂිමා මෙන්ඩිස් ඇතුළු කණ්ඩායම්, එම ඉසව්වන්ගේ තෙවන ස්ථානය දිනා ගනිමින් මව්බිමට ලොකඩ පදක්කම් දීනා දීම‍ට සමත්විය.

ඒ අනුව, ආසියානු කලාපීය රාජ්‍යන් 43ක සහභාගීත්වයෙන් පැවති 26 වැනි ආසියානු මලල ක්‍රීඩා ශූරතාවලියේ මිටර් 4x400 කාන්තා සහය දිවිමේ තරඟය විනාඩි 03:36.67 කින් සහ මිටර් 4x400 මිශ්‍ර සහය දිවීමේ ධාවන ඉසව්ව විනාඩි 03:21.95 කින් නිම කරමින් මෙලෙස එම සහය ධාවන ඉසව්වන්ගේ ලෝකඩ පදක්කම මව්බිමට දිනා දීම සඳහා අනගි සහයක් ලබාදුන් සාමාන්‍ය කාන්තා නැවි ලක්‍ෂිමා මෙන්ඩිස්, ශ්‍රී ලංකා නාවික හමුදාව සහ මව්බිම වෙත විශාල කීර්තියක් ගෙනදීමටත්, ජාත්‍යන්තරය ඉදිරියේ ශ්‍රී ලංකාවේ අභිමානය ඉහළ නැංවීමටත් සුවිශේෂී දායකත්වයක් දැක්වීය.