Sri Lanka Navy – Official Logo
EVENT NEWS 2026

ශ්‍රී ලංකා වෘත්තීය අධ්‍යාපන හා පුහුණු ක්ෂේත්‍රයේ ප්‍රගමනය සඳහා නාවික හමුදා දායකත්වය ඇගයීමට

13 Aug 2026

තෘතීයික හා වෘත්තීය අධ්‍යාපන කොමිෂන් සභාව විසින් ශ්‍රී ලංකාවේ වෘත්තීය අධ්‍යාපන හා පුහුණු ක්ෂේත්‍රයේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, ජාතික වෘත්තීය සුදුසුකම් (National Vocational Qualification – NVQ) සහතික මිලියනයක් පිරිනැමීම ‍වෙනුවෙන් සංවිධානය කරන ලද ‘Celebrating the milestone of awarding of One Million NVQ Certificates’ උත්සව අවස්ථාව ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ගරු අග්‍රාමාත්‍ය තුමියගේ ප්‍රධානත්වයෙන් බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රන ශාලාවේදී 2026 අගෝස්තු මස 12 වන දින පවත්වන ලදි. එහිදී, ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් වෘත්තීය අධ්‍යාපන හා පුහුණු ක්ෂේත්‍රය වෙනුවෙන් දක්වන ලද පුරෝගාමී දායකත්වය ද ඇගයීමට ලක් කෙරිණි.

ඒ අනුව, ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් සිය නිලධාරීන් හා නාවිකයන්ගේ වෘත්තීය හා තාක්ෂණික දැනුම සහ කුසලතා වර්ධනය කිරීමේ අරමුණින් NVQ ක්‍රමවේදය යටතේ පුහුණු හා ඇගයීම් වැඩසටහන් ක්‍රියාත්මක කරමින්, ඔවුන්ගේ වෘත්තීය නිපුණතා සඳහා ජාතික මට්ටමේ පිළිගැනීමක් ලබාදීමට කටයුතු කර ඇත. එමෙන්ම, නාවික හමුදාව තුළ පවතින විවිධ වෘත්තීය හා තාක්ෂණික ක්ෂේත්‍රයන්ට අදාළ පුහුණු වැඩසටහන් ක්‍රමවත් කිරීම සහ නාවික පුද්ගලයන්ගේ වෘත්තීය නිපුණතා ඉහළ නැංවීම සඳහා NVQ ක්‍රමවේදය වැදගත් මෙවලමක් ලෙස භාවිත කරමින්, නාවික හමුදාවේ මානව සම්පත වඩාත් නිපුණ, වෘත්තීයමය හා තාක්ෂණික වශයෙන් සවිබල ගැන්වීමට සුවිශේෂී දායකත්වයක් ලබා දී ඇත.

එමෙන්ම, ශ්‍රී ලංකාවේ වෘත්තීය අධ්‍යාපන හා පුහුණු ක්ෂේත්‍රයේ ප්‍රගමනය වෙනුවෙන් ජාතික වෘත්තීය සුදුසුකම් (NVQ) ක්‍රමවේදය සාර්ථකව ක්‍රියාත්මක කිරීම සඳහා නාවික හා සාගරික විද්‍යාපීඨය ලබාදුන් සුවිශේෂී දායකත්වය ඇගයීමට ලක් කෙරෙමින් නාවික හා සාගරිග විද්‍යාපීඨයේ ආඥාපති කොමදෝරු දිනේෂ් බණ්ඩාර වෙත සම්මානයක් ප්‍රධානය කිරීමද මෙහිදී සිදුකෙරිණි.

Accessibility Tools