අතුරුදන් වූ නාවික නිලධාරියා සොයා මෙහෙයුම් අඛණ්ඩව
අඟුලාන මුහුදු ප්‍රදේශයේදී අනතුරට පත් ශ්‍රී ලංකා නාවික හමුදාවට අයත් වේග ප්‍රහාරක යාත්‍රාවෙහි සිටියදී අතුරුදන් වූ නාවික නිලධාරියා සොයා මෙහෙයුම් අද දින (2026 අගෝස්තු 18) සිව්වන දිනටත් අඛණ්ඩව ක්‍රියාත්මක වේ.
ශ්‍රී ලංකා නාවික හමුදාවට අයත් P 4447 වේග ප්‍රහාරක යාත්‍රාව 2026 අගෝස්තු 15 වන දින උදෑසන 1140 පැයට පමණ අඟුලාන මුහුදු ප්‍රදේශයේ මුර සංචාරයක් අවසන් කර යළි පැමිණෙමින් සිටියදී හදිසි මෙම අනතුරකට මුහුණ දී ඇත.
මෙම අනතුරින් පසුව, යාත්‍රාවේ සිටි නාවික පුද්ගලයින් එකෙළොස් දෙනෙකු (11) අඟුලාන පොලීසියේ සහ ප්‍රදේශයේ ධීවර ප්‍රජාවේ සහාය ඇතිව මුදාගෙන ඇති අතර, අතුරුදන් වූ නාවික නිලධාරියා සොයා ගැනීම සඳහා නාවික හමුදාව විසින් සෝදිසි මෙහෙයුම් තවදුරටත් ක්‍රියාත්මක කරමින් සිටි.
අතුරුදන් වූ නිලධාරියා සොයා ගැනීම, අනතුරට පත් යාත්‍රාව ගොඩ ගැනීම සහ අනතුරට හේතු වූ කරුණු නිශ්චිතව හඳුනා ගැනීම සඳහා ශ්‍රී ලංකා ගුවන් හමුදාව සමඟ සම්බන්ධීකරණයෙන් නාවික හමුදාව විසින් අවශ්‍ය සෝදිසි හා මුදාගැනීමේ කණ්ඩායම් මෙහෙයුම් කටයුතු සඳහා යොදවා ඇත.
2026 අගෝස්තු 16 වන දින උදෑසන සිට සිදු කළ අඛණ්ඩ මෙහෙයුමකින් අනතුරුව, නාවික හමුදා කිමිදුම්කරුවන් විසින් අනතුරට පත් යාත්‍රාව සාර්ථකව ගොඩගෙන ඇත. කෙසේ වෙතත්, පසුගිය දින කිහිපය තුළ පැවති රළු මුහුදු තත්ත්වය හේතුවෙන් යාත්‍රාව ආරක්ෂිත ස්ථානයක් වෙත ඇදගෙන යාමේ කටයුතු සඳහා බාධා එල්ල වී ඇති අතර, එම කටයුතු තවදුරටත් අඛණ්ඩව සිදු කෙරේ.
අනතුරින් මුදාගත් නාවික පුද්ගලයින්ගෙන් ලබාගත් මූලික තොරතුරු අනුව, අදාළ යාත්‍රාව එම මුහුදු ප්‍රදේශයේ ජලය යට ගිලී පවතින යාත්‍රාවක කොටසක් හෝ වෙනත් වස්තුවක් සමඟ ගැටීම හේතුවෙන් මෙම අනතුර සිදුවී ඇත්ද යන්න පිළිබඳව විමර්ශන කටයුතු සිදු කරමින් පවතී. මේ අතර, සිද්ධිය සම්බන්ධයෙන් මූලික විමර්ශනයක් සිදු කිරීම සඳහා විශේෂඥ මණ්ඩලයක් පත් කර ඇති අතර, අනතුරට නිශ්චිතව බලපෑ කරුණු හඳුනා ගැනීම සඳහා අදාළ විමර්ශන කටයුතු සිදු කෙරෙමින් පවතී.
අනතුරින් මුදාගත් නාවික පුද්ගලයින් 11 දෙනා මේ වන විට වැලිසර පිහිටි නාවික මහ රෝහල තුළ නේවාසිකව වෛද්‍ය ප්‍රතිකාර ලබමින් සිටින අතර, ඔවුන්ගේ සෞඛ්‍ය තත්වය යහපත් බව වාර්තා වේ.