ත්‍රිකුණාමලය නාවික තටාකාංගණයේ වැඩිදියුණු කළ සුභසාධන පහසුකම් නාවික හමුදාධිපතිගේ ඇගයීමට
ත්‍රීකුණාමලය නාවික තටාකාංගණයේ සේවය කරන නාවික පුද්ගලයින්ගේ සුභසාධනය සහ යහපැවැත්ම තවදුරටත් ශක්තිමත් කිරීම උදෙසා, එහි අණදෙන නිලධාරී කපිතාන් සමන් රත්නායක ගේ මගපෙන්වීම සහ නාවික පුද්ගලයින්ගේ සාමූහික දායකත්වය යටතේ ස්ථාපිත කරන ලද නව සුභසාධන වැඩසටහන් නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් ඩේමියන් ප්‍රනාන්දු ගේ ඇගයීමට ලක් විය.
මෙම සුභසාධන ව්‍යාපෘතිය යටතේ ඉදිකරන ලද නව ‘කලා අරණ’ (ND Art Corner), ‘ආපනශාලාව’ (ND Cafe), පළතුරු බීම අළෙවිසැළ (Juice Bar) සහ ‘රෙදි සේදීමේ පහසුකම් ගොඩනැගිල්ල’ (Dockyard Laundry) නිරීක්‍ෂණය කිරීම සඳහා නාවික හමුදාධිපතිතුමන් 2026 ජූලි මස 11 වන දින එහි සංචාරයක නිරත වූ අතර, නාවික පුද්ගලයින් සඳහා වඩාත් සෞඛ්‍ය සම්පන්න, සහයෝගී මෙන්ම ඵලදායී සේවා පරිසරයක් නිර්මාණය කිරීම මෙම ව්‍යාපෘතීන්හි මූලික අරමුණ වේ. මෙම නිරීක්‍ෂණ සංචාරය අතරතුර අදහස් දැක්වූ නාවික හමුදාධිපති, නාවික පුද්ගලයින්ගේ සුභසාධනය මෙන්ම කායික මානසික සුවතාවය වෙනුවෙන් ශ්‍රී ලංකා නාවික නෞකා තටාකාංගණය ගෙන ඇති මෙම ප්‍රශංසනීය පියවර අගය කළ අතර, ධනාත්මක මෙන්ම උද්යෝගිමත් ශ්‍රම බලකායක් ගොඩනැගීම සඳහා මෙවැනි සුභසාධන මුලපිරීම් වල ඇති වැදගත්කම අවධාරණය කරන ලදි.
තවද, මෙම අවස්ථාව සඳහා නැගෙනහිර නාවික විධාන ආඥාපති රියර් අද්මිරාල් කෝසල වාර්ණකුලසූරිය ඇතුළු එම නාවික විධානයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් ඇතුළු නාවික පුද්ගලයින් පිරිසක් සහභාගී වී සිටියහ.