ජාතික ඩෙංගු මදුරු මර්දන වැඩ සටහනට නාවික හමුදාවේ දායකත්වය
“ඩෙංගු රෝගයෙන් තොර කොළඹක් කරා” තේමාවට අනුව, ‘ක්ලීන් ශ්‍රී ලංකා’ ලේකම් කාර්යාලය, ජාතික ඩෙංගු මර්දන ඒකකය සහ ශ්‍රී ලංකා පොලීසියේ පරිසර ආරක්‍ෂණ අංශය එක්ව සංවිධානය කරන මහජන සෞඛ්‍යාරක්‍ෂාව තහවුරු කිරීම සහ ඩෙංගු ව්‍යාප්තිය පාලනය කිරීමේ අරමුණින් ක්‍රියාත්මක ජාතික ඩෙංගු මර්දන මෙහෙයුම සඳහා ශ්‍රී ලංකා නාවික හමුදාව සිය සක්‍රීය දායකත්වය අඛණ්ඩව ලබා දෙනු ලබයි.
2026 ජූලි මස 27 වන දින මෙම ඩෙංගු මර්දන වැඩ සටහන සඳහා සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීන්, ප්‍රාදේශීය ලේකම් කාර්යාල නිලධාරින්, මහජන සෞඛ්‍ය පරීක්‍ෂක නිලධාරීන්, සහ ජාත්‍යන්තර රතුකුරුස සංවිධාන සාමාජිකයින් සමඟ එක්ව බටහිර නාවික විධානයට අනුයුක්ත නාවික හමුදා පුද්ගලයින් අනු හත්දෙනෙකු (97) මෙම ජාතික ඩෙංගු මර්දන වැඩ සටහන සාර්ථක කරගැනීම සඳහා දායකත්වය දක්වන ලදි. ඒ අනුව බොරැල්ල, පානදුර, නාරාහේන්පිට, කැළණිය, රාගම, මහර, වත්තල, ගම්පහ සහ මෝදර යන ප්‍රදේශයන්හි ස්ථාන තුන්දහස් දෙසීය දෙකක් (3,202) පරීක්‍ෂාවට ලක් කෙරුණු අතර, එහිදී ඩෙංගු මදුරුවන් බෝවන ස්ථාන දෙසීය හැට අටක් (268) හදුනා ගන්නා ලදි.
මෙම ජාතික ඩෙංගු මර්දන මෙහෙයුමට සමගාමීව, ඩෙංගු මදුරුවන් බෝවිය හැකි ස්ථාන හඳුනාගැනීම සඳහා සියලුම නාවික විධානයන් තුළ විධිමත් පරිසර පරීක්‍ෂණ සිදු කරනු ලබන අතර, අනතුරුව එම ස්ථාන පිරිසිදු කිරීම හා විනාශ කිරීමේ කටයුතු අඛණ්ඩව ක්‍රියාත්මක කරනු ලබයි.