ජාතික ඩෙංගු මර්ධන වැඩසටහන සාර්ථක කරගැනිම සඳහා නාවික හමුදා සහය
"ඩෙංගු රෝගයෙන් තොර කොළඹක් කරා" (Towards a Dengue-Free Colombo)යන තේමාව යටතේ ‘ක්ලීන් ශ්‍රී ලංකා’ ලේකම් කාර්යාලය, ජාතික ඩෙංගු මර්දන ඒකකය සහ ශ්‍රී ලංකා පොලිස් පරිසර ආරක්‍ෂක අංශය විසින් ක්‍රියාත්මක කරනු ලබන ඩෙංගු මර්දන වැඩ සටහන් මාලාව සඳහා අද (2026 ජුලි 07) තෙවැනි දිනටත් නාවික හමුදාව සිය සක්‍රීය දායකත්වය ලබා දීමට කටයුතු කරන ලදි.
සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීන්, ප්‍රාදේශීය ලේකම් කාර්යාල නිලධාරින් මහජන සෞඛ්‍ය පරීක්‍ෂක නිලධාරීන් සහ ජාත්‍යන්තර රතු කුරුස සංවිධාන සාමාජිකයින් සමඟ එක්ව බටහිර නාවික විධානයට අනුයුක්ත නාවික හමුදා පුද්ගලයින් පනහකට (50) කට අධික පිරිසක් මෙම ජාතික ඩෙංගු මර්දන වැඩසටහන සාර්ථක කරගැනීම සඳහා දායකත්වය දක්වන ලදි. ඒ අනුව සුගතදාස ගෘහස්ත ක්‍රීඩාංගනය අවට, නාරාහේන්පිට, වත්තල, මෝදර, මට්ටක්කුලිය, බොරැල්ල, පිටකෝට්ටේ, සහ පානදුර යන ප්‍රදේශයන්හි ස්ථාන පනස් දෙකක් (52) පරීක්‍ෂාවට ලක්කෙරුණු අතර, එහිදී ඩෙංගු මදුරුවන් බෝ වන ස්ථාන එක්දහස් දෙසීය තිස් එකක් (1,231) හදුනාගන්නා ලදි. තවද, ඩෙංගු මර්දන ක්‍රියාවලිය පිළිබඳ දැනුවත් කිරීමේ වැඩසටහන් හැත්තෑ තුනක් (73) මෙම පුළුල් ඩෙංගු මර්දන වැඩසටහන යටතේ ක්‍රියාත්මක කරන ලදි.
මෙම ජාතික ඩෙංගු මර්දන වැඩසටහනට සමගාමීව, ශ්‍රී ලංකා නාවික හමුදාවේ අනෙකුත් විධානයන් මඟින්ද ඩෙංගු මර්දන වැඩසටහන් රැසක් ක්‍රියාත්මක කර ඇති අතර, එම වැඩසටහන් තුළින් පරිසරය විධිමත්ව පරීක්‍ෂාවට ලක් කරමින් ඩෙංගු මදුරුවන් බෝවිය හැකි ස්ථාන හඳුනාගෙන ඒවා පිරිසිදු කිරීම හා විනාශ කිරීමේ කටයුතු සිදු කෙරිණි. තවද, නාවික හමුදා කඳවුරු ඩෙංගු මදුරුවන්ගෙන් තොර ආරක්ෂිත කලාපයන් බවට පත්කර ගැනීමේ අරමුණින්, සියලුම නාවික හමුදා කඳවුරු පරිශ්‍රයන් තුළද අඛණ්ඩ ඩෙංගු මර්දන වැඩසටහන් ක්‍රියාත්මක කර ඇත.