Sri Lanka Navy – Official Logo
EVENT NEWS 2026

ආරක්‍ෂක නියෝජ්‍ය අමාත්‍යවරයා නැගෙනහිර ප්‍රදේශයේ ජ්‍යෙෂ්ඨ ත්‍රිවිධ හමුදා නිලධාරීන් අමතයි

08 Jun 2026

ආරක්‍ෂක නියෝජ්‍ය අමාත්‍ය මේජර් ජෙනරල් අරුණ ජයසේකර (විශ්‍රාමික) පසුගිය බදාදා (ජුනි 03) නැගෙනහිර ආරක්‍ෂක බල ප්‍රදේශයේ ජ්‍යෙෂ්ඨ ත්‍රිවිධ හමුදා නිලධාරීන් අමතමින් ජාතික ආරක්‍ෂාව ශක්තිමත් වන්නේ සවිමත් ආර්ථිකයක් මෙන්ම වගවීම, විනිවිදභාවය සහ යහපාලනය විදහා දක්වන ආයතන පද්ධතියක් තුළින් බව පෙන්වා දුන්නේය.

අතිගරු ජනාධිපතිතුමා වෙනුවෙන් යුද, නාවික සහ ගුවන් හමුදාවේ සියලුම නිලයන් වෙත සිය කෘතඥතාව සහ ඇගයීම පළ කරමින් නියෝජ්‍ය අමාත්‍යවරයා සිය අදහස් දැක්වීම ආරම්භ කළ අතර ස්වභාවික ආපදා සහ ජාතික ව්‍යසන පවතින අවස්ථාවලදී සිවිල් වැසියන්ගේ ජීවිත හා දේපළ සුරැකීම වෙනුවෙන් ත්‍රිවිධ හමුදාව දැක්වූ කැපවීම සහ පරාර්ථකාමී මෙහෙවර ඔහු මෙහිදී අගය කළේය.

මෑතකාලීනව රට තුළ ඇති වූ නොසන්සුන්කාරී තත්ත්වයන් පිළිබඳව සිහිපත් කළ නියෝජ්‍ය අමාත්‍යවරයා, ජාතික ආරක්‍ෂාවට ඇති ලොකුම තර්ජනය බාහිරින් නොව අභ්‍යන්තරයෙන්ම එල්ල වන සංවිධානාත්මක අපරාධ, දූෂණය සහ සදාචාරය පිරිහීම බව සඳහන් කළේය. ස්ථාවර ජාතික ආරක්‍ෂාවකට ඇති එකම මඟ ආර්ථික විනය බව පෙන්වා දුන් ඔහු, එම අරමුණ වෙනුවෙන් වත්මන් රජය දැඩි මූල්‍ය විනයක් ක්‍රියාත්මක කර ඇති බව ද සඳහන් කළේය.

එසේම, සමාජයේ සදාචාරය සහ විනය පිරිහීම වර්තමානයේ පවතින බරපතල ගැටලුවක් බවත්, එය හමුදා නිලධාරීන්ටද සෘජුවම බලපාන බවත් ඔහු සඳහන් කළේය. ඕනෑම ආකාරයක ජාතිවාදී හෝ ආගමික බෙදීම් ප්‍රතික්ෂේප කරමින් සමාජ සංහිඳියාව කරා නැවත ගමන් කිරීමේ අවශ්‍යතාවයද තවදුවරටත් මෙහිදී පෙන්වා දුන්නේය.

වෘත්තීයභාවය සහ විනිවිදභාවය පෙරදැරිව තමන්ට පැවරුණු බලතල සහ රාජ්‍ය දේපළ වගකීමෙන් යුතුව භාවිත කිරීමේ වැදගත්කම නියෝජ්‍ය අමාත්‍යවරයා මෙහිදී පෙන්වා දුන්නේය. ත්‍රිවිධ හමුදාවේ අභිමානය සහ විනය රැක ගැනීම සඳහා පවතින නීති රීති දැඩිව අනුගමනය කළයුතු බවත්, ඒවා උල්ලංඝනය කරන සියලු අයවලුන හට නිසි විනය ක්‍රියාමාර්ග ගතුයුතු බවත් මෙහිලා අවධාරණය කළේය.

මෙම අභිලාෂයන් සාක්ෂාත් කරගැනීම සඳහා දැනටමත් ප්‍රධාන පියවර කිහිපයක් ක්‍රියාත්මක කර ඇති බව නියෝජ්‍ය අමාත්‍යවරයා ප්‍රකාශ කළේය. එක්සත් ජාතීන්ගේ සාම සාධක මෙහෙයුම් සඳහා වැඩි පිරිසක් දායක කරගැනීම, විශ්‍රාම යන හමුදා සාමාජිකයින් ව්‍යවසායකයින් බවට පත් කරන 'Warriorpreneurship' වැඩසටහන සහ නාවික හමුදා සාමාජිකයින්ට විශ්‍රාම ලැබීමෙන් පසු වෙළඳ නාවික ක්ෂේත්‍රයේ රැකියා සඳහා අවශ්‍ය සහතික පත්‍ර ලබාදීමේ වැඩපිළිවෙළ ඒ අතර වේ.

නියෝජ්‍ය අමාත්‍යවරයාගේ මෙම නැගෙනහිර සංචාරයට සමගාමීව, 22 වන පාබල සේනාංකය, නැගෙනහිර නාවික විධානය සහ ශ්‍රී ලංකා ගුවන් හමුදා විද්‍යාපීඨයේ ද නිරීක්‍ෂණ චාරිකාවල නිරත විය. එහිදී සවිස්තරාත්මක දැනුවත් කිරීම්වලින් අනතුරුව, ඔහු එහි සිටි නිලධාරී‍, ජ්‍යෙෂ්ඨ කොමිෂන් නොලත් නිලධාරීන්, රෙජිමේන්තු සැරයන් මේජර්වරුන් සහ සිවිල් කාර්ය මණ්ඩලය සමඟ සුහද සාකච්ඡාවල නිරත වෙමින් ඔවුන්ගේ ගැටළු සහ අවශ්‍යතා පිළිබඳව සොයා බැලීමට කටයුතු කළේය.

22 වන පාබල සේනාංකයේ පැවැති මෙම නිල හමුව සඳහා ගුවන් හමුදාපති, ආරක්‍ෂක සේනා ආඥාපති (නැගෙනහිර), 22 සහ 23 වන පාබල සේනාංකවල සේනාංකාධිපතිවරුන්, නැගෙනහිර නාවික කලාපීය ආඥාපති, චීන වරාය ගුවන් හමුදා විද්‍යාපීඨයේ සේනාවිධායක මෙන්ම ප්‍රදේශයේ ත්‍රිවිධ හමුදා ජ්‍යෙෂ්ඨ නිලධාරීන් පිරිසක් ද සහභාගී වූහ.

මාධ්‍ය අනුග්‍රහය - www.defence.lk

Accessibility Tools