නාවික රියදුරු පුහුණු පාසලේ ස්ථාපිත රියදුරු සමාකෘතිය විවෘත කෙරේ
ශ්‍රී ලංකා නාවික හමුදා රියදුරු පුහුණු පාසලෙහි පුහුණුව ලබන නාවිකයින්හට වඩාත් ආරක්‍ෂිත පරිසරයක් තුළ තාත්වික සහ පුළුල් දැනුමක් ලබාදීම අරමුණු කරගනිමින්, ආරක්‍ෂක අමාත්‍යංශයේ ‘ආරක්‍ෂක පර්යේෂණ හා සංවර්ධන මධ්‍යස්ථානය (CDRD)’ විසින් දේශීයව නිර්මාණය කරන ලද නවීනතම රියදුරු සමාකෘතිය (B Vehicle Simulator), 2026 ජුනි මස 17 වැනි දින නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් කාන්චන බානගොඩ ගේ ප්‍රධානත්වයෙන් වැලිසර නාවික රියදුරු පුහුණු පාසලේදී විවෘත කෙරිණි.
ඒ අනුව, මෙම රියදුරු සමාකෘතිය සුක්කානම (Steering), පෑගවුම් (Accelerator, Brake, Clutch), පාර්ශ්වීය දර්පණ මෙන්ම හස්තීය සහ ස්වයංක්‍රීය ගියර් පද්ධති ඇතුළු සැබෑ වාහනයක අන්තර්ගත සියලුම පාලක පද්ධති ඇතුළත් කර, හයිඩ්‍රොලික් හෝ විද්‍යුත් ක්‍රියාකාරක (actuators) ක්‍රමවේදයන් භාවිතා කරමින් නිර්මාණය කර ඇති අතර, දිශා හයකට (06) චලනය කළ හැකි යාන්ත්‍රික වේදිකාවක (Stewart Platform) සිට වාහනයක් ධාවනය කිරීමේදී හැරවීම්, තිරිංග යෙදීම්, ඇතිවන ගැස්සීම් සහ මාර්ගයේ ඇති විෂම ස්වභාවය ඒ අයුරින්ම අත්විඳීමට පුහුණුවන නාවිකයින්හට මෙමඟින් අවස්ථාව ලැබී ඇත.
තවද, මෙම අවස්ථාව සඳහා බටහිර නාවික විධානයේ ආඥාපති, නාවික හමුදා මූලස්ථානයේ හා බටහිර නාවික විධානයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, ආරක්‍ෂක පර්යේෂණ හා සංවර්ධන මධ්‍යස්ථානයේ අධ්‍යක්‍ෂක ඇතුළු පිරිසක්ද සහභාගි වී සිටියහ.