නාවික හමුදාධිපති උතුරු නාවික විධානයේ නිල සංචාරයක නිරත වෙයි
උතුරු නාවික විධානයේ නිල සංචාරයක් සඳහා 2026 සැප්තැම්බර් මස 21 වැනි දින සහභාගී වූ නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් ඩේමියන් ප්‍රනාන්දු, එම විධානයේ මෙහෙයුම්, පරිපාලන, සංවර්ධන සහ සුභසාධන ව්‍යාපෘති නිරීක්ෂණය කර, නාවික හමුදාවේ මෙහෙයුම් අභිප්‍රාය පිළිබඳව එම විධානයේ නිලධාරීන් සහ නාවිකයන් දැනුවත් කෙරිණි.
ඒ අනුව, දෙදින නිල සංචාරයක් සඳහා උතුරු නාවික විධානය වෙත පැමිණි නාවික හමුදාධිපති, උතුරු නාවික විධානයේ ආඥාපති, රියර් අද්මිරාල් ධම්මික විජේවර්ධන විසින් පිළිගැනීමෙන් අනතුරුව, එම විධානයේ ආරක්ෂක තත්වය, මෙහෙයුම් සූදානම, පරිපාලන, සංවර්ධන සහ සුභසාධන ව්‍යාපෘති පිලිබඳ නාවික හමුදාධිපති දැනුවත් කිරීම, විධාන මූලස්ථාන ශ්‍රවනාගාරයේදී සිදුකෙරිණි.
එහිදී, ජාතික ආරක්ෂාව වෙනුවෙන් නාවික හමුදාවේ කාර්යය භාරය පිළිබඳව සිය දැක්ම සහ ප්‍රමුඛතා නැවත අවධාරණය කළ නාවික හමුදාධිපති, ඒ සඳහා උපායමාර්ගික වටපිටාව පිළිබඳ අවබෝධය මත පදනම් වූ මෙහෙයුම් සූදානම, මෙහෙයුම් හැකියාවන් හා ධාරිතාවන් සංවර්ධනය කිරීම, ඩිජිටල් වේදිකා සහ ස්වයංක්‍රීයකරණය භාවිතයට ගැනීම, කාර්යක්ෂම පරිපාලනය හා කාලෝචිත තීරණ ගැනීම මෙන්ම, නාවික හමුදා සාමාජිකයින්ගේ පමණක් නොව ඔවුන්ගේ පවුල්වල සාමාජිකයින්ගේද සුභසාධනය සහතික කිරීම යන කරුණු අවධාරණය කළේය. දේශීය ධීවර ප්‍රජාවගේ ජීවනෝපාය ආරක්ෂා කිරීම මෙන්ම, දූපත් ආශ්රිත ප්‍රජාව වෙත සහ රාජ්‍ය ආයතන වෙත අවශ්‍ය සහය ලබා දීම වෙනුවෙන් සිවිල් ආයතන සහ නාවික හමුදාව අතර සම්බන්ධීකරණය හා සහයෝගීතාව වැඩිදියුණු කිරීමේ අවශ්‍යතාව ද නාවික හමුදාධිපති එහිදී විශේෂයෙන් අවධාරණය කරනු ලැබීය.
අනතුරුව, විධාන මෙහෙයුම් මැදිරියේ කාර්යභාරය නිරීක්ෂනය කල නාවික හමුදාධිපති, උතුරු නාවික විධානයට අයත් නෞකා සහ යාත්රාවන්ගේ නිරීක්ෂණ චාරිකා වාරය සිදුකරමින්, උතුරු මුහුදේ නීතිමය භාවිතය ප්‍රවර්ධනය කිරීමේදී, දියත් අංශයන්ගේ මෙහෙයුම් සූදානම හා කාර්යක්ෂමතාවය අඛණ්ඩව පවත්වා ගැනීමේ අවශ්‍යතාවය විශේෂයෙන් අවධාරණය කෙරිණි.
මෙම නිල සංචාරයේදී, නිලධාරීන්ගේ සුභසාධන කටයුතු පුළුල් කරමින් ශ්‍රී ලංකා නාවික නෞකා උත්තර ආයතනයේ අභිනවයෙන් ඉදිකල නව විවාහක නිලධාරී නිවාසය විවෘත කල නාවික හමුදාධිපති, නිලධාරින්ගේ, ජ්‍යෙෂ්ඨ නාවිකයන්ගේ සහ කාන්තා නාවිකයන්ගේ නවාතැන් පහසුකම් නිරික්ෂණය කෙරිණි. අනතුරුව, උතුරු නාවික විධානය තුල නාවික හමුදා පුද්ගලයන්ගේ සුභසාධනය වෙනුවෙන් ස්ථාපිත පහසුකම්, යෝජිත නාවික ආයතනය, සේවා වනිතා සුභසාධන අළෙවිසැළ, පොදු භෝජනාගාරය සහ විධාන මෝටර් රථ ඉංජිනේරු අළුත්වැඩියා වැඩපලෙහි නිරීක්ෂණ සංචාරය සිදුකෙරිණි.
තවද, මෙම නිල සංචාරයට සමඟාමීව කන්කසන්තුරය වරායේ දියකඩනය සහ පේදුරුතුඩුව නාවික අනුකණ්ඩයේ නිරීක්ෂණ සංචාරය සිදුකල නාවික හමුදාධිපති, උතුරු නාවික විධානය විසින් සිදුකරනු ලබන මෙහෙයුම් කටයුතු වඩාත් කාර්යක්ෂමව හා ඵලදායි ලෙස සිදුකිරීමට අවශ්‍ය උපදෙස් ලබාදීමද එහිදී සිදුකෙරිණි.