Sri Lanka Navy – Official Logo

මන්නාරම මුහුදේ නීති විරෝධී ලෙස රාත්‍රී කිමිදුම් කටයුතු සිදුකරමින් මුහුදු කූඩැල්ලන් ඇල්ලූ සැකකරුවන් 04 ක් නීතිය හමුවට පමුණවයි

07 Jul 2026

ශ්‍රී ලංකා නාවික හමුදාව මන්නාරම උස්මුක්කුන්තුරායි මුහුදු ප්‍රදේශයේ 2026 ජුලි මස 07 වැනි දින සිදුකල විශේෂ සෝදිසි මෙහෙයුමක් මඟින්, නීති විරෝධී ලෙස රාත්‍රී කිමිදුම් කටයුතු සිදු කරමින් මුහුදු කූඩැල්ලන් ඇල්ලූ පුද්ගලයින් සිව් දෙනෙකු (04) සමඟ යාත්‍රාවක් (01), මුහුදු කූඩැල්ලන් ගණනින් පන්සිය පනස්හතරක (554) පමණ ප්‍රමාණයක් සහ ධීවර උපකරණ නීතිය හමුවට පමුණුවීමට කටයුතු කෙරිණි.

ඒ අනුව, උතුරු මැද නාවික විධානයට අයත් ශ්‍රී ලංකා නාවික නෞකා ගජබා ආයතනය මඟින්, මන්නාරම උස්මුක්කුන්තුරායි ප්‍රදේශයට ඔබ්බෙන්වු මුහුදු ප්‍රදේශය ආවරණය වන පරිදි සිදුකල මෙම විශේෂ සෝදිසි මෙහෙයුම අතරතුරදී සැකකටයුතු යාත්‍රාවක් පරීක්‍ෂාවට ලක්කෙරිණි. එහිදී, නීති විරෝධී ලෙස රාත්‍රී කිමිදුම් කටයුතු සිදු කර ගොඩ බිම වෙත ප්‍රවාහනය කරමින් සිටි මුහුදු කූඩැල්ලන් තොගය සොයා ගන්නා ලදි.

මෙම මෙ‍හෙයුම මඟින් නාවික හමුදා භාරයට ගත් සැකකරුවන් අවුරුදු 26 ත් 33 ත් අතර වයසේ පසුවන මන්නාරම පල්ලෙමුනායි ප්‍රදේශයේ පදිංචිකරුවන් බවට හඳුනා ගෙන ඇත. එම සැකකරුවන්, මුහුදු කූඩැල්ලන් තොගය, යාත්‍රාව සහ ධීවර උපකරණ ඉදිරි නීතීමය කටයුතු සඳහා මන්නාරම ධීවර පරීක්‍ෂක කාර්යාලය වෙත භාර දෙන ලදි.

Accessibility Tools