ශක්තිමත් පවුල් සංස්ථාවක් සහ සුරක්ෂිත සමාජයක් වෙනුවෙන් කාන්තාවන් සවිබල ගැන්වීමේ විශේෂ වැඩමුළුවක් නාවික හමුදා මුලස්ථානයේදී
‘ශක්තිමත් පවුල් සංස්ථාවක් සහ සුරක්ෂිත සමාජයක් වෙනුවෙන් කාන්තාවන් සවිබල ගැන්වීම’ යන තේමාව පෙරදැරිව, ශ්‍රී ලංකා නාවික හමුදාවේ කාන්තා නිලධාරින් සහ නාවිකයින් දැනුවත් කිරීමේ විශේෂ වැඩමුළුවක්, 2026 අගෝස්තු මස 25 වැනි දින නාවික හමුදා මූලස්ථාන ප්‍රධාන ශ්‍රවණාගාරයේදී පැවැත්විණි.
මෙම වැඩමුළුව තුලදී, ශක්තිමත් පවුල් සංස්ථාවක් හා සමාජයක් ගොඩනැගීම සඳහා නාවික හමුදාවේ කාන්තා නිලධාරින් සහ නාවිකයින් සවිබල ගැන්වීම වෙනුවෙන්, ක්‍ෂේත්‍රයේ ප්‍රවීණයන්ගේ සම්පත් දායකත්වයෙන් විශේෂ දැනුවත් කිරීමේ දේශන පැවැත්විණි.
ඒ අනුව, ස්ත්‍රී - පුරුෂ සමානාත්මතා උපදේශිකා, මොනිකා සමරවීර මහත්මිය විසින් ‘ස්ත්‍රී පුරුෂ සමානාත්මතාවය ප්‍රවර්ධනය කිරීම: ශක්තිමත් පවුල් සහ සමාජයක් සඳහා කාන්තාවන් සවිබල ගැන්වීම’ යන තේමාව යටතේත්, කැළණිය විශ්වවිද්‍යාලයේ සමාජ විද්‍යා අධ්‍යනාංශයේ, අපරාධ විද්‍යා අංශයේ මහාචාර්ය අනුෂා එදිරිසිංහ මහත්මිය විසින් ‘කාර්යාල සහ ගෘහස්ථ අපයෝජනය සඳහා ප්‍රථිචාර දැක්වීම : සැමට සුරක්‍ෂිත පරිසරයක් නිර්මාණය කිරීම’ යන තේමාව යටතේ සහ ශ්‍රී ලංකා වෘත්තීය මනෝවිද්‍යාත්මක උපදේශකයන්ගේ සංගමයේ සභාපතිනී, අචාර්යය භාග්‍යා අබේසිංහ මහත්මිය විසින් ‘කාන්තාවන්ගේ පෞද්ගලික සනීපාරක්ෂාව: පවුල් යහපැවැත්ම හා සතුට ප්‍රවර්ධනය කිරීමේදී එහි කාර්යභාරය’ යන තේමාව යටතේත් එහිදී, විද්වත් දේශන සහ සාකච්ඡා සිදු කෙරිණි.
තවද, මෙම අවස්ථාව සඳහා නාවික හමුදා මාණ්ඩලික ප්‍රධානී රියර් අද්මිරාල් රවින්ද්‍ර තිසේරා, අධ්‍යක්‍ෂ ජෙනරාල් පුද්ගල රියර් අද්මිරාල් සංජීව ප්‍රේමරත්න සහ ඇතුළු නාවික හමුදා ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, කාන්තා නිලධාරීන් සහ කාන්තා නාවික පුද්ගලයින් පිරිසක් සහභාගී වී සිටියහ.