ඉන්දීය සාගර කලාපයේ උපායමාර්ගික ගතිකත්වයන් පිළිබඳ නාවික නිලධාරීන් දැනුවත් කෙරේ
අද්මිරාල් මහාචාර්ය ජයනාත් කොළඹගේ (විශ්‍රාමික) විසින් “සමකාලීන ගෝලීය තත්වය: ඉන්දීය සාගරය සහ ශ්‍රී ලංකාව” යන මැයෙන් දේශනයක් 2026 අගෝස්තු 16 වන දින නැගෙනහිර නාවික විධානයේ සේවයේ නිරත නිලධාරීන් සඳහා පවත්වන ලදී.
නැගෙනහිර නාවික ප්‍රදේශ භාර ආඥාපති රියර් අද්මිරාල් බුද්ධික ලියනගමගේ ආරාධනයෙන් පැවති මෙම දේශනය නැගෙනහිර නාවික විධානයේ නිලධාරී නිවාසය පරිශ්‍රයේදී පැවැත්විණි. ඒ සඳහා නැගෙනහිර නාවික විධානයට අයත් නෞකා සහ ආයතනයන්හි රාජකාරියේ නිරත ජ්‍යෙෂ්ඨ හා කනිෂ්ඨ නිලධාරීන් මෙන්ම නාවික හා සාගරික විද්‍යාපීඨයේ පුහුණුව ලබන නිලධාරීන් පිරිසක්ද සහභාගී වූහ.
මෙහිදී, ජාත්‍යන්තර පරිසරය හැඩගස්වන ප්‍රධාන භූ දේශපාලනික, ආර්ථික හා යුදමය වර්ධනයන් පිළිබඳව අද්මිරාල් කොළඹගේ විසින් කරුණු පැහැදිලි කරන ලද අතර, එම වර්ධනයන්හි ඉන්දීය සාගර කලාපයට සහ ශ්‍රී ලංකාවට සෘජුව හා වක්‍රව බලපාන ආකාරය පිළිබඳවද විශේෂ අවධානය යොමු කරන ලදී.
තවද, සමුද්‍රීය ආරක්ෂාව සහ ජාතික අභිලාෂයන්ට අදාළ සමකාලීන ගෝලීය හා කලාපීය වර්ධනයන් පිළිබඳව සිය දැනුම හා අවබෝධය පුළුල් කර ගැනීමට මෙම දේශනය නාවික නිලධාරීන්ට වැදගත් අවස්ථාවක් සලසා දෙන ලදී.
එමෙන්ම, මෙම දේශනය අවසානයේදී, සිය දැනුම හා අත්දැකීම් නාවික නිලධාරීන් සමඟ බෙදාහදා ගැනීම සම්බන්ධයෙන් අද්මිරාල් මහාචාර්ය ජයනාත් කොළඹගේ (විශ්‍රාමික) වෙත සිය කෘතඥතාව පළ කළ නැගෙනහිර නාවික ප්‍රදේශ භාර ආඥාපති, මෙම අවස්ථාව සනිටුහන් කරමින් සමරු තිළිණයක්ද පිළිගැන්වීය.