Sri Lanka Navy – Official Logo
EVENT NEWS 2026

නාවික හමුදාවේ සම්පත් දායකත්වයෙන් ප්‍රථමාධාර පිලිබඳ ධීවර ප්‍රජාව බලගැන්වීමේ පුහුණු වැඩසටහනක් පේදුරුතුඩුව ධීවර වරායේදී

18 Aug 2026

ශ්‍රී ලංකා නාවික හමුදාව, සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශය සහ ධීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තුව එක්ව, ප්‍රථමාධාර පිලිබඳ ධීවර ප්‍රජාව බලගැන්වීමේ පුහුණු වැඩසටහන් මාලාවක් පැවැත්වීමට කටයුතු සංවිධානය කර ඇති අතර, ඒ යටතේ උතුරු නාවික විධානයේ සම්පත් දායකත්වයෙන් පැවැත්වූ ප්‍රථමාධාර පිලිබඳ ධීවර ප්‍රජාව බලගැන්වීමේ පුහුණු වැඩසටහන, 2026 අගෝස්තු මස 17 වැනි දින යාපනය, පේදුරුතුඩුව ධීවර වරාය පරිශ්‍රයේදී සාර්ථකව පැවැත්විණි.

ධීවර ප්‍රජාවගේ සෞඛ්‍ය ආරක්‍ෂිත බව තහවුරු කිරීම අරමුණු කර ගනිමින්, දිවයිනේ ධීවර වරාය පරිශ්‍ර ගණනාවක් ආවරණය වන පරිදි, 2026 අගෝස්තු මස 17 සිට නොවැම්බර් මස 18 දක්වා විධිමත් කාල රාමුවකට අනුව පැවැත්වෙන මෙම ප්‍රථමාධාර පිලිබඳ පුහුණු වැඩසටහන් මාලාව, සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ මූලිකත්වයෙන්, ධීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තුවේ සංවිධායකත්වයෙන් සහ ශ්‍රී ලංකා නාවික හමුදාවේ සෞඛ්‍ය සේවා දෙපාර්මේන්තුවේ විශේෂඥ සම්පත් දායකත්වයෙන්; නැගෙනහිර, බටහිර, උතුර, වයඹ, දකුණ සහ ගිණිකොණ නාවික විධාන ආඥාපතිවරුන්ගේ අධීක්‍ෂණයෙන් පැවැත්වීමට නාවික හමුදාව කටයුතු සංවිධානය කර ඇත.

ඒ අනුව, උතුරු නාවික විධානයේ ආඥාපතිගේ අධීක්‍ෂණයෙන්, විධාන වෛද්‍ය කාර්යය මණ්ඩලයකගේ සම්පත් දායකත්වයෙන් සහ යාපනය සහකාර ධීවර අධ්‍යක්‍ෂක කාර්යාලයේ හා පේදුරුතුඩුව ධීවර වරාය කළමණාකාරිත්වයේ සම්බන්ධීකරණයෙන් හා සංවිධායක දායකත්වයෙන් පවත්වන ලද මෙම ප්‍රථමාධාර පිලිබඳ පුහුණු වැඩමුළුව තුලදී; මුහුදේදී ධීවර ප්‍රජාව වෙත සිදුවිය හැකි අනතුරු හා ප්‍රථිකාර සඳහා ගොඩබිමට පැමිණෙන තෙක් හෝ වෛද්‍ය සහාය ලැබෙන තෙක් රෝගියා‍ වෙත පළමු උපකාරය හෝ ප්‍රථිකාරය ලබාදීම සම්බන්ධයෙන් ධීවර ප්‍රජාව දැනුවත් කිරීම සිදු කෙරිණි.

තවද, මූලික ජීවන ආධාරක පිළිබඳව (Base Life Supports) මෙන්ම, ධීවර කර්මාන්තයේ යෙදී සිටියදී සිදුවිය හැකි අනතුරු සහ අනතුරකින් පසුව ගතයුතු පියවර පිළිබඳව වැඩසටහන සඳහා සහභාගී වූ ධීවර ප්‍රජාව, න්‍යායිකව හා ප්‍රායෝගිකව දැනුවත් කිරීමත්, ඒ සම්බන්ධ ගැටළු සාකච්ඡා කිරීමත් එහිදී සාර්ථකව සිදුකෙරිණි.

Accessibility Tools