දිට්වා’ සුළි කුණාටුවේදී මානුෂීය මෙහෙයුම් සඳහා කැපවූ නාවික හමුදා නිලධාරීන් ඇගයීමට ලක් කෙරේ
‘දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් දිවයිනේ ඇති වූ ජාතික ආපදා තත්ත්වය කළමනාකරණය කිරීම සහ මානුෂීය ආධාර හා ආපදා සහන මෙහෙයුම් සඳහා කැපවීමෙන් කටයුතු කළ ශ්‍රී ලංකා නාවික හමුදා නිලධාරීන්ගේ සේවය ඇගයීම සඳහා ප්‍රශංසාත්මක ලිපි ප්‍රදානය කිරීමේ වැඩසටහනේ දෙවන අදියර, අද දින (2026 අගෝස්තු 11) බටහිර නාවික විධාන මූලස්ථානයේදී බටහිර නාවික විධානයේ ආඥාපති රියර් අද්මිරාල් ජගත් කුමාරගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි.
2025 නොවැම්බර් මස 28 වැනි දින ශ්‍රී ලංකාවට බලපෑ අයහපත් කාලගුණික තත්ත්වය සහ ‘දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් අවදානම් සහගත තත්ත්වයන්ට මුහුණ දුන් ජනතාව මුදා ගැනීම, ඔවුන් ආරක්ෂිත ස්ථාන වෙත යොමු කිරීම සහ ආපදා තත්ත්වය හේතුවෙන් සිදු වූ හානි කඩිනමින් යථා තත්ත්වයට පත් කිරීම සඳහා ශ්‍රී ලංකා නාවික හමුදාවේ සියලුම නාවික විධානයන්හි නිලධාරීන් තම රාජකාරි සීමාවන්ගෙන් ඔබ්බට ගොස් ජාතික වගකීම ඉටු කිරීම සඳහා කැපවීමෙන් කටයුතු කළහ.
තවද, පශ්චාත් ගංවතුර ආපදා සහන මෙහෙයුම් යටතේ ජල මූලාශ්‍ර පිරිසිදු කිරීම මෙන්ම ජල පවිත්‍රාගාරවල අක්‍රීය වූ ජල පොම්ප අලුත්වැඩියා කිරීම සහ නඩත්තු කටයුතු සඳහා නාවික හමුදා කිමිදුම් කණ්ඩායම් මඟින් අවශ්‍ය කිමිදුම් සහය ලබා දීමට ද කටයුතු කෙරිණි.
මෙලෙස ‘දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ ජනතාවගේ ජීවිත හා දේපළ සුරක්ෂිත කිරීම සහ මානුෂීය ආධාර හා ආපදා සහන මෙහෙයුම් සාර්ථකව ක්‍රියාත්මක කිරීම සඳහා කැපවීමෙන් සහ වගකීමෙන් යුතුව කටයුතු කළ නාවික හමුදා නිලධාරීන්ගේ විශිෂ්ට සේවය ඇගයීමක් වශයෙන් මෙම ප්‍රශංසාත්මක ලිපි ප්‍රදානය සිදු කෙරිණි.
බටහිර නාවික විධාන මූලස්ථානයේ පැවති මෙම ඇගයීම් ලිපි ප්‍රදාන වැඩසටහන සඳහා බටහිර නාවික විධානයේ නියෝජ්‍ය ආඥාපති කොමදොරු අරුණ විජේවර්ධන ඇතුළු ජ්‍යෙෂ්ඨ හා කනිෂ්ඨ නිලධාරීන් පිරිසක් සහභාගී වූහ.