Sri Lanka Navy – Official Logo
EVENT NEWS 2026

නාවික හමුදාව ගුවන් හමුදාවට ජලයේ නොනැසී ජීවත්වීමේ පුහුණුව ලබා දෙයි

28 Jun 2026

ඒකාබද්ධ මෙහෙයුම් සූදානම ඉහළ නැංවීමේ අරමුණින්, ශ්‍රී ලංකා නාවික හමුදාවේ විශේෂ යාත්‍රා බලඝණය (Special Boat Squadron - SBS) විසින් ශ්‍රී ලංකා ගුවන් හමුදා ගුවන් කාර්ය මණ්ඩලය සඳහා සංවිධානය කළ ජලයේ නොනැසී ජීවත්වීමේ පුහුණු පාඨමාලාව (Water Survival Training Course), 2026 ජුනි මස 15 සිට 25 දක්වා ත්‍රිකුණාමලය විශේෂ යාත්‍රා බලඝණ පුහුණු පාසලේදී සාර්ථකව පැවැත්විණි.

ඒ අනුව, දින 10ක කාල සීමාවක් පුරා පැවති මෙම පාඨමාලාව සඳහා ගුවන් කාර්ය මණ්ඩලයේ නිලධාරින් හා සෙසු නිලයන් සහභාගි වූ අතර, මෙම පාඨමාලාව තුළදී; ජීවිතාරක්‍ෂක පිහිනුම් ක්‍රම, ජලයේ පාවෙමින් රැඳී සිටීමේ ක්‍රමවේද, ජලයේ ගිලීමේ අවදානම් අවස්ථාවන්ගෙන් ආරක්‍ෂිතව ගැලවීමේ ක්‍රමවේද, ගුවන් යානයක් ජලයට හදිසි ගොඩබැස්ස වීමේ (Aircraft Ditching) අභ්‍යාස, ජලයේදි තුවාලකරුවන් ගලවාගැනීම, කළමනාකරණය සහ හදිසි ප්‍රතිචාර දැක්වීම පිළිබඳ අත්‍යවශ්‍ය දැනුම හා ප්‍රායෝගික කුසලතා සම්බන්ධව සහභාගිවූවන් පුහුණු කෙරිණි.

එමෙන්ම, පාඨමාලාවේ අවසන් ක්ෂේත්‍ර පුහුණු අභ්‍යාසය (Final Training Exercise - FTX) තුලින් ජලය ආශ්‍රිත හදිසි අවස්ථාවන්ට සාර්ථකව මුහුණදීම සඳහා අවශ්‍ය ප්‍රායෝගික හැකියාවන්, ආත්මවිශ්වාසය, තීරණ ගැනීමේ හැකියාව සහ මානසික ශක්තිය තවදුරටත් වර්ධනය කර ගැනීමට ඔවුන්ට අවස්ථාව සැලසිණි.

පාඨමාලාවේ සමාප්ති උත්සවය 2026 ජුනි මස 25 වැනි දින විශේෂ යාත්‍රා බලඝණ පුහුණු පාසලේ පුහුණු විධායක, කොමාණ්ඩර් තිස්ස කුමාර ගේ ප්‍රධානත්වයෙන් එම පුහුණු පාසලේදී පැවැත්වූ අතර, එහිදී පාඨමාලාව සාර්ථකව නිම කළ ගුවන් හමුදා නිලධාරින් සහ සෙසු නිලයන් වෙත සහතිකපත් ප්‍රදානය කිරීම ද සිදුකෙරිණි.

Accessibility Tools