ශ්‍රී ලංකා ස්වේච්ඡා නාවික හමුදාවේ 2026 වාර්ෂික පුහුණු කඳවුර සාර්ථකව නිමාවට පත්වෙයි
ශ්‍රී ලංකා ස්වේච්ඡා නාවික හමුදාවේ 2026 වාර්ෂික පුහුණු කඳවුරේ නිමාව සනිටුහන් කරමින්, අංශ පිරික්‍සුම සහ ආචාර පෙළපාලිය අද දින (2026 සැප්තැම්බර් 17) වැලිසර, ශ්‍රී ලංකා ස්වේච්ඡා නාවික හමුදා මූලස්ථානයේදී සාර්ථකව පැවැත්විණි. ස්වේච්ඡා නාවික හමුදාවේ ආඥාපති කොමදෝරු අරුණ විජේවර්ධනගේ සහ ස්වේච්ඡා නාවික හමුදාවේ අණදෙන නිලධාරි කපිතාන් අනුර කරුණාරත්නගේ ආරාධනයෙන්, වාර්ෂික පුහුණු කඳවුරේ අංශ පිරික්‍ෂුම සහ උත්තමාචාරය පිළිගැනීම සඳහා ප්‍රධාන ආරාධිතයා ලෙස, නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් ඩේමියන් ප්‍රනාන්දු සහභාගී විය.
දීර්ඝ ඉතිහාසයකට හා අභිමානවත් උරුමයකට හිමිකම් කියනු ලබන ශ්‍රී ලංකා ස්වේච්ඡා නාවික හමුදාවට අනන්‍ය වු සාම්ප්‍රදායික අංගයක් ලෙස හා නීතිමය අවශ්‍යතාවයන් සම්පූර්ණ කිරීම වෙනුවෙන් සහ ස්වේච්ඡා නාවික හමුදා පුද්ගලයන්ගේ වෘත්තීමය හැකියාව වර්ධනය කිරීම වෙනුවෙන් වාර්ෂික පුහුණු කඳවුර සහ අංශ පිරික්සුම පවත්වනු ලබයි. 2026 අගෝස්තු මස 31 වැනි දින ආරම්භ කෙරුණු මෙවර පුහුණු කඳවුර සඳහා නිලධාරීන් 44 ක් සහ ජ්‍යෙෂ්ඨ හා කණිෂ්ඨ නාවිකයන් 445 ක් ඇතුළුව, ස්වේච්ඡා නාවික හමුදා පුද්ගලයන් 489 දෙනෙකු සහභාගී වූ අතර, අද දින (2026 සැප්තැම්බර් 17) සාම්ප්‍රදායිකව නාවික හමුදාධිපති විසින් අංශ පිරික්සුම සිදුකිරීමෙන් පසුව පැවති ආචාර පෙළපාලිය හා විචිත්‍රවත් සංස්කෘතික සංදර්ශනයෙන් අනතුරුව, 2026 වර්ෂයේ වාර්ෂික පුහුණු කඳවුර මෙලෙස සාර්ථකව නිමාවට පත්විය.
එහිදි අදහස් දැක් වූ නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් ඩේමියන් ප්‍රනාන්දු, ශ්‍රී ලංකා නාවික හමුදාවේ කාලීන අවශ්‍යතාවයන්ට අනුකූලව ස්වේච්ඡා නාවික හමුදාව වර්ධනය වී ඇති බවත්, ශ්‍රී ලංකා නාවික හමුදාවේ පුළුල් කාර්යභාරය ඉටුකිරීම වෙනුවෙන් ස්වේච්ඡා නාවික හමුදාවේ අඛණ්ඩ නිහඬ දායකත්වය වෙනුවෙන් සිය ප්‍රණාමය පල කරනු ලබන බවත්, ස්වේච්ඡා නාවික හමුදාවේ එම දායකත්වය අගයමින් 2023 වර්ෂයේදී ජනාධිපති වර්ණ පිරිනැමීම, ස්වේච්ඡා නාවික හමුදා ඉතිහාසයේ සුවිශේෂී සංධිස්ථානයක් මෙන්ම, නාවික හමුදාවට මහත් අභිමානයක් ගෙනදුන් අවස්ථාවක් බවත් පවසන ලදි.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ නාවික හමුදාධිපති, ශ්‍රී ලංකා නාවික හමුදාව; හැකියාවන්ගෙන්, තාක්ෂණයෙන් සහ වෘත්තීය නිපුණ පිරිස් බලයෙන් යුතුව වර්ධනය කිරීමේ උපායමාර්ගික සැලැස්ම - 2030 ක්‍රියාවට නැංවීමේදී සහ අල්ලසින් හා දූෂණයෙන් තොර සුපිළිපන්නභාවයෙන් යුතු රාජකාරි පරිසරයක් නාවික හමුදාව තුල ස්ථාපනය කිරීමේදී, ඒ සඳහා ස්වේච්ඡා නාවික හමුදාවේ කැපවීම ද නාවික හමුදාව එක සේ අපේක්ෂා කරන බවත්, වාර්ෂික පුහුණු කඳවුරු තුලින් ලැබෙන දැනුම නිරතුරුව යාවත්කාලීන කර ගනිමින්, නාවික හමුදාවේ සහ රටේ අභිවෘද්ධිය වෙනුවෙන් කාර්යක්ෂමව හා ඵලදායි ලෙස දායක වීම, සැමගේ යුතුකම සහ වගකීමද වන බව අවධාරණය කෙරිණි.
ස්වේච්ඡා නාවික හමුදාවට අනුයුක්තව, නාවික හමුදා වෛද්‍ය හා දන්ත වෛද්‍ය සේවයේ විශේෂඥ වෛද්‍යවරුන්ගේ ප්‍රශංසනීය දායකත්වය සහ නාවික හමුදා ක්‍රීඩා ක්ෂේත්‍රයේ උන්නතිය වෙනුවෙන් කටයුතු කරනු ලබන ස්වේච්ඡා නාවික හමුදාවට අනුයුක්ත ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ දායකත්වය එහිදී ඇගයීමට ලක්කල නාවික හමුදාධිපති, මාතෘ භූමියේ ඒකීයභාවය සහ භෞමික අඛණ්ඩතාවය සුරැකීම වෙනුවෙන් ජීවිත පරිත්‍යාගයෙන් කටයුතු කල, අතුරුදහන් වූ සහ රණක්ෂිතයට පත් සියළුම ස්වේච්ඡා නාවික හමුදා පුද්ගලයින් සහ ඔවුන්ගේ පවුලේ සමීපතමයින් වෙත ප්‍රණාමය පළ කිරීමටද කටයුතු කෙරිණි.
තවද, මෙම අවස්ථාව සඳහා නාවික හමුදා මාණ්ඩලික ප්‍රධානී රියර් අද්මිරාල් රවීන්ද්‍ර තිසේරා ඇතුළු නාවික හමුදා කළමණාකරන මණ්ඩලයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, බටහිර නාවික විධානයේ ආඥාපති ඇතුළු විධාන ආඥාපතිවරුන්, ධජ නිලධාරීන්, නාවික හමුදා මුලස්ථානයේ සහ බටහිර නාවික විධානයට අනුයුක්ත ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, ස්වේච්ඡා නාවික හමුදාවේ හිටපු අණදෙන නිලධාරීන් ඇතුළු නාවික හමුදා පුද්ගලයින් පිරිසක් සහභාගී වී සිටියහ.