Sri Lanka Navy – Official Logo
SPORT NEWS 2026

10 වන දකුණු ආසියානු කරාතේ ශූරතාවලියේදී ශ්‍රී ලංකාව නියෝජනය කළ නාවික හමුදාව ලෝකඩ පදක්කම් පහක් දිනා ගනියි

22 Jul 2026

බංග්ලාදේශ කරාතේ සම්මේලනය විසින් සංවිධානය කරන ලද 10 වන ජ්‍යෙෂ්ඨ හා කනිෂ්ඨ දකුණු ආසියානු කරාතේ ශූරතාවලිය - 2026, 2026 ජූලි 18 සහ 19 යන දෙදින බංග්ලාදේශයේ ඩකා නුවර පිහිටි Shaheed Shorawardi ගෘහස්ථ ක්‍රීඩාංගනයේදී අභිමානවත් අයුරින් පැවැත්විණි.

දකුණු ආසියානු කලාපයේ රටවල් හතක් (07) නියෝජනය කරමින් ක්‍රීඩක ක්‍රීඩිකාවන් රැසක් සහභාගී වූ මෙම ශූරතාවලිය සඳහා ශ්‍රී ලංකා නාවික හමුදාව නියෝජනය කරමින් පිරිමි සහ කාන්තා ක්‍රීඩක ක්‍රීඩිකාවන් තිදෙනෙකු (03) සහභාගී වූ අතර, ඔවුන් ලෝකඩ පදක්කම් පහක් (05) දිනා දීමට සමත් වූහ.

මෙහිදී, කේවල කුමිතේ කිලෝග්‍රෑම් 50ට අඩු බර පන්තිය නියෝජනය කළ නායක නැවි ඒඩීඑන්එස් ආරියරත්න ලෝකඩ පදක්කමක් දිනා ගැනීමට සමත් විය. එසේම, කේවල කුමිතේ කිලෝ ග්‍රෑම් 61ට අඩු බර පන්තිය සහ කණ්ඩායම් කුමිතේ ඉසව්ව නියෝජනය කළ බල නැවි (කාන්තා) පීඑල්එම් නෙත්මිනි එම ඉසව් දෙකෙන්ම ලෝකඩ පදක්කම් දෙකක් දිනා ගන්නා ලදි. තවද, කේවල කුමිතේ කිලෝග්‍රෑම් 68ට අඩු බර පන්තිය සහ කණ්ඩායම් කුමිතේ ඉසව්ව නියෝජනය කළ නායක නැවි (කාන්තා) කේඒසී දුලාංජලි ද එම ඉසව් දෙකෙන්ම ලෝකඩ පදක්කම් දෙකක් දිනා ගැනීමට සමත් විය.

මෙම ජයග්‍රහණයන් සමඟ ශ්‍රී ලංකා නාවික හමුදාවේ ක්‍රීඩා කුසලතා ජාත්‍යන්තර තරඟ බිමේ තවත් වරක් ප්‍රකට වූ අතර, ශ්‍රී ලංකාවට මෙන්ම නාවික හමුදාවට ද මහත් අභිමානයක් එක් කිරීමට එම ක්‍රීඩක ක්‍රීඩිකාවන් සමත් වූහ. මෙම ජයග්‍රහණය නාවික හමුදාව තුළ කරාතේ ක්‍රීඩාව තවදුරටත් ප්‍රවර්ධනය කිරීම සහ ජාත්‍යන්තර මට්ටමේ දක්ෂ ක්‍රීඩක ක්‍රීඩිකාවන් බිහිකිරීම සඳහා ගෙන යනු ලබන අඛණ්ඩ වැඩ සටහන්වල සාර්ථකත්වය ද මනාව පිළිබිඹු කරයි.

Accessibility Tools